ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2020 සිට රටේ ණය බර අඩුකර ගැනීමට හැකි වෙයි- අගමැති

    සැප්තැම්බර් 16, 2017

    එළැඹෙන අවුරුදු දෙක තුළ දී නිසි පරිදි ණය ගෙවීම සිදු කර ගෙන ගියහොත් 2020 සිට රටේ ණය බර අඩු කර ගනිමින් සංවර්ධනයෙන් ඉදිරියට යාමට හැකි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    මේ වන විට රට තුළ නීතිය හා සාමය ස්ථාවර වී තිබෙන බව පෙන්වා දුන් අගමැතිවරයා රටේ ව්‍යාපාර පවත්වා ගෙන යාමට නීතිය හා සාමය අත්‍යවශ්‍ය වන අතර අපරාධ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ නොකරනවා නම් විශාල ව්‍යාපාරවල සිදු වන වංචා දූෂණ පිළිබඳව හෙළි කර ගැනීමට නොහැකි වන බව ද සඳහන් කළේය.

    බම්බලපිටිය, පොලිස්  ක්‍රීඩාංගනයේ දී  පසුගියදා පැවති 151 වන පොලිස් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අගැමැතිවරයා මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    "ඔබ සියලු දෙනා ඇමතීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් මම පළමුවෙන් ස්තඣතිවන්ත වෙනවා. පොලිසියට නිසි අයුරින් රාජකාරී කර ගෙන යාමටත්, නීතිය ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සෑම පියවරක්ම අප මේ වන විට ගෙන තිබෙනවා. ඒ වගේම ඔබ ඉටු කරන සේවය අප අගය කරනවා. විශේෂයෙන් පසුගිය ගංවතුර කාලයේ පොලිසිය ක්‍රියා කළ ආකාරය නිසා ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට අපට හැකි වුණා.

    මේ වන විට පොලිස් සේවය තවදුරටත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. පොලිසියේ ඇතැම් අංශ සඳහා විදේශ උපදේශන ලබාදීම සිදු කරනවා. අනෙක් අංශ සඳහා දේශීය පුහුණුව සහ උපදේශන ලබාදීමත් සිදු කරනවා. පොලිස් පුහුණුව තව තවත් ගුණාත්මක භාවයෙන් ඉහළ දැමීමට අප පියවර ගන්නවා. ඒ වගේම පොලිස් සහ අපරාධ පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බව ඔබේ ඇමැතිතුමා මට පැවසුවා. මේ වන විට ඊට අවශ්‍ය නීති කෙටුම්පත් සැකසෙමින් තිබෙනවා. එසේ නම් මෙම කලාපයට අත්‍යවශ්‍ය ආයතනයක් පොලිසිය හරහා ඉදිකෙරෙනවා.

    පොලිසියට අවශ්‍ය මුදල් අප ලබා දී තිබෙනවා. පොලිස් සේවයේ වැටුප් වැඩි කර තිබෙනවා. පොලිසිය සඳහා පසුගිය වසරවලට වඩා වැඩියෙන් රුපියල් බිලියන 3.3 ක් පමණ අප ලබා දී තිබෙනවා. අපේ ආණ්ඩුව කැප වී සිටින්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. ආර්ථිකය ශක්තිමත් නොකර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට නොහැකි වනවා. අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට නොහැකි වෙනවා. රටේ සුරක්‍ෂිත භාවය තහවුරු වෙනවා නම් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වෙනවා.

    රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආණ්ඩුවේ ස්ථාවර භාවය අවශ්‍යයි. එම නිසා ආර්ථිකය ශක්තිමත් කරමින් නීතිය හා සාමය සුරක්‍ෂිත කිරීම අප සිදු කර ගෙන යනවා. රටේ නීතිය හා සාමය සුරක්‍ෂිත කිරීමට නම් පොලිසිය දේශපාලනීකරණය වීම වළක්වා ගත යුතුයි. රටේ නීතිය සියලූම පුරවැසියන්ට එක සේ බලපානවා. අතීතයේ දී නීතිය දේශපාලනීකරණය වූ නිසාම වරදකරුවන් ගණනාවකට දඩුවම් පැමිණ වීමට නොහැකි වුණා. නමුත් අද එවැනි ගැටලූවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ වාතාවරණය ඇති කර තිබෙනවා.
    මැතිවරණයෙන් පසුව අපි බාර ගත්තේ විශාල ණය බරක් සහිත ආණ්ඩුවක්. පොලිස් සේවාව සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටවත් රජය සතුව මුදල් තිබුණේ නැහැ. නමුත් අද වන විට එම ණය බර සීමා කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. එළැඹෙන අවුරුදු දෙක තුළ දී නිසි පරිදි ණය ගෙවීම සිදු කර ගෙන ගියහොත් 2020 සිට රටේ ණය බර අඩු කර ගනිමින් සංවර්ධනයෙන් ඉදිරියට යාමට හැකි වේවි.
    මේ වන විට රට තුළ නීතිය හා සාමය ස්ථාවර වී තිබෙනවා. රටේ ව්‍යාපාර පවත්වා ගෙන යාමට නීතිය හා සාමය අත්‍යවශ්‍ය වෙනවා. අපරාධ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ නොකරනවා නම් විශාල ව්‍යාපාරවල සිදු වන වංචා දූෂණ පිළිබඳව හෙළි කර ගැනීමට නොහැකි වෙනවා.

    පසුගිය වසර දෙකහමාරක කාලය තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ 4 ක් බිහි කිරීමට අපට හැකි වුණා. නිවාස ලක්‍ෂ 2 ක් ඉදිකිරීම සඳහා ආධාර ලබා දී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කර තිබෙනවා. එමෙන්ම පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමටත් පියවර ගත්තා. ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබා දී තිබෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ මනා පුහුණුව සහ කැපවීම හේතුවෙන් බරපතළ ගණයේ අපරාධ 30% කින් පහළ බැස තිබෙනවා.

    පොලිසියේ ඒ ඒ අංශවල සාර්ථකත්වය පිළිබඳව පොලිස්පතිතුමාගේ කතාවෙන් අපට පැහැදිලි වුණා. එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම එංගලන්තය, ජර්මනිය, ජපානය වැනි රටවල නීතිය ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයට ගෙන ආ යුතුයි. එක් කාලයක දී අපේ රටේ පොලිසියට විශේෂ කීර්තියක් ලැබී තිබුණා. නමුත් එම තත්ත්වය දැන් පොලිසියෙන් ගිලිහී ගොස් තිබෙනවා. එම තත්ත්වය නැවත ලබා ගැනීමට අප කටයුතු කළ යුතුයි.

    මේ වන විට සමාජයේ ප්‍රධාන අංශ දෙකක් පිළිබඳව පොලිසිය අවධානය යොමු කළ යුතුයි. ඉන් පළමු වැන්න මත්ද්‍රව්‍ය පාලනයයි. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමට සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධ ක්‍රමය සම්පූර්ණයෙන් පාලනය කිරීම අනෙක් කාරණයයි. මෙම කාරණා දෙක පිළිබඳව පොලිසියේ විශේෂ අවධානය යොමු විය යුතුයි. රටේ සියලූම දෙනා ආරක්‍ෂාවත්, සුරක්‍ෂිතභාවයත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ රටේ කාන්තාවට රාත්‍රියක වුවත් කරදරයකින් තොරව ගමන් කිරීමේ හැකියාව අප ඇති කළ යුතුයි. මෙවැනි දේ ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර පහ තුළ ක්‍රියා කරන ලෙස මම පොලිසියෙනුත්, පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා.

    අද පොලිසිය නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් ආරක්‍ෂාව සහ සුරක්‍ෂිත භාවය ඇති කර තිබෙන නිසා රටේ කලබල, කෝලාහල ඇති වන්නේ නැහැ. පොලිසිය එක් ජාතියකට හෝ ආගමකට උදව් උපකාර කරමින් අනෙක් වැසියන්ට මදිපුංචිකම් කිරීමක් දැන් සිදු වන්නේ නැහැ. ඒ ආකාරයට ජාතික සමගිය ඇති කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මෙවැනි පියවර ගණනාවක් ගෙන තිබෙනවා.


    නමුත් නීතිය හා සාමය ඇති කරන පොලිසිය රටේ සියලූම දෙනාට සමානව සලකන්නේ නැතිනම් අප බලාපොරොත්තු වන සමගිය ඇති කිරීමට නොහැකි වෙනවා. එම වැඩකටයුත්ත පොලිසියෙන් මේ වන විට ඉටු වෙමින් පවතිනවා. ඒ වගේම නීතියට අනුව ක්‍රියා කරන නිසාත්, මානව හිමිකම්වලට ගරු කරන නිසාත් අද ජාත්‍යන්තරයේ ගැටලූවලට අපි මුහුණ දෙන්නේ නැහැ. එදා අපේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විශාල ප්‍රශ්න ඇතිව තිබුණා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව එම ගැටලූ විඳා අවසන් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. ඒ සඳහා පොලිසියෙන් ලැබෙන සහයෝගය අපි ඉතා අගය කරනවා.
    මම පෙර සඳහන් කළ පරිදි එංගලන්තය, ජර්මනිය, ජපානය වැනි රටවල ක්‍රියාත්මක වන ආකාරයේ කීර්තිමත් පොලිස් සේවයක් ඇති කරමින් ඉන්දියන් සාගරයේ හොඳම පොලිස් සේවය ලෙස ගෞරවයට පාත්‍ර වීම සඳහා කැප වී වැඩ කරමු යැයි පවසමින් ලෝකයේ පැරණිතම පොලිස් සේවාවක් වන ශ්‍රී ලංකාවේ පොලිස් සේවයට මම සුභ ප්‍රාර්ථනා කරනවා. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya