ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදෙසා සුරක්ෂා ආරම්භ කළා

    ඔක්තෝබර් 02, 2017
    ශ්‍රී ලංකාවේ සියලු ම පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සඳහා "සුරක්‍ෂා" රක්‍ෂණ ක්‍රමය ආරම්භ කළ බවත් නිදහස් අධ්‍යාපනය ආරම්භ වී වසර 75 ක් ගත වන මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය වෙනුවෙන් අප මෙම පියවර ආරම්භ කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    "සදා සුරකිමු දැයේ දරුවන්" යන තේමාව යටතේ පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කෙරෙන "සුරක්‍ෂා සිසු රක්ෂණය" එළිදැක්වීමේ උත්සවයට අද (02) දින අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    "1942 වර්ෂයේදී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර අධ්‍යාපන ඇමැතිතුමා අපේ රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නා. ඊට පෙර ඇතැම් පාසල් සඳහා පාසල් ගාස්තු ගෙවීමට රටේ දුප්පත් දෙමව්පියන්ට මුදල් තිබුණේ නැහැ. එම නිසා නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම හරහා රටේ දූදරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති පළමු ආර්ථික බාධකය එතුමා ඉවත් කළා. ඉන්පසුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% කට පාසල් පෙළ පොත් මිලදී ගැනීමට මුදල් නොතිබූ බැවින් 1980 වර්ෂයේදී පාසල් පෙළ පොත් නොමිලයේ ලබාදීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යෝජනා කළා". 
     
    "පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනු රටේ වැදගත්ම සම්පතයි. රටේ අනාගතය රදා පවතින්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මතයි. එසේ නම් රටේ දූදරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාගැනීමට ආර්ථිකමය වශයෙන් යම් බාධාවක් තිබෙනවා නම් අප එය ඉවත් කර දිය යුතුයි. නිදහස් අධ්‍යාපනයක් ලබාගැනීමට, නොමිලයේ පොත් පත් ලබාගැනීමට සහ තම සෞඛ්‍ය ආරක්‍ෂා කරගනිමින් අධ්‍යාපනයේ නිරත වීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිමිකමක් තිබෙනවා. 
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශයේ ඇති සැමට අධ්‍යාපනය ලබාගැනීම සඳහා වන අයිතිවාසිකම් මෙතරම් තහවුරු කළ රටවල් ස්වල්පය අතරට අපත් එකතු වෙනවා. මේ වැඩසටහන සඳහා අපේ රජය ලබාදුන් මුදල රුපියල් මිලියන 2900 ක්. පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කෙරෙන මෙම "සුරක්‍ෂා සිසු රක්ෂණය" වෙනුවෙන් අපේ රජය සෑම වසරකම අවශ්‍ය මුදල් යොදවනවා. එම මුදල් ලබාදීම අපේ රජයේ යුතුකමක්. 
    රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට ගත් පියවර නිසා මෙම මුදල් ලබාදීමට අපට දැන් හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී අප ජාතික ආණ්ඩුවක් පිහිටවූ අවස්ථාවේ මෙම මූල්‍යමය ශක්තිය අපට තිබුණේ නැහැ. රටට ලැබෙන ආදායම ලබා ගෙන ඇති ණය ප්‍රමාණය පියවීමටවත් ප්‍රමාණවත් නොවූ අතර, අප ඒ ආකාරයෙන්ම ඉදිරියට ගියා නම් අධ්‍යාපනය වෙනුවෙන් මෙවැනි විශාල වැඩකොටසක් ඉටු කිරීමට හෝ මෙවැනි විශාල මුදලක් ලබාදීමට අපට හැකි වන්නේ නැහැ". 
     
    "අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කරමින්, "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ පාසල් වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. ඒ වගේම ගුරුවරුන් ඇතුළුව රජයේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩිකිරීමටත්, නිවාස ලක්‍ෂ 2 ක් ඉදිකිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට, රැකියා අවස්ථා ලක්‍ෂ 4 ක් පමණ බිහි කිරීමටත් අපට හැකියාව ලැබුණා. කෙටි කාලයක් තුළ මේ සියල්ල අපේ රජය යටතේ සිදු කළ බව කියන්න කැමැතියි". 
     
    "අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම දරුවන්ට රක්‍ෂණාවරණයක් ලබාදීමෙන් පමණක් සීමා වන්නේ නැහැ. ඒ වෙනුවෙන් අධ්‍යාපන ඇමැතිතුමා සතුව සැලසුම් ගණනාවක් තිබෙනවා. ඒවා සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමයි දැන් සිදු කළ යුත්තේ". 
     
    "ඒ වගේම වසර 13 ක පාසල් අධ්‍යාපනය අප දැන් අනිවාර්ය කර තිබෙනවා. මීට පෙර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පාසල හැර යන 50% ක් වන ශිෂ්‍ය ප්‍රතිශතයට ඉදිරියේදී වසර 13 ක් උසස් පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තරයේ දැනුම ලබාගැනීම සඳහා එළඹෙන වසරේ සිට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රටේ පාසල් සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනත් අප දැන් ආරම්භ කර තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළ හරහා රටේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට අපි කටයුතු කරනවා". 
     
    පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කෙරෙන මෙම "සුරක්‍ෂා සිසු රක්ෂණය" වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාටත්, රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මැතිතුමාටත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාටත්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවටත්, සංස්ථාවේ සභාපතිතුමාටත් විශේෂයෙන් ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya