ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ඔබට විසදා ගැනීමට නොහැකි වූ ගැටළු ඉදිරියේදී විසඳීමට බලාපොරොත්තු වෙනවා

    ඔක්තෝබර් 30, 2017

     

    අපට පළමුවෙන් කිරීමට සිදුව තිබුණේ රටේ ආර්ථිකය බේරා ගැනීමයි. ජාතික සංහිදියාව ඇති කිරීමයි.ඔබට විසදා ගැනීමට නොහැකි වූ ගැටළු අප ඉදිරියේදී විසඳීමට බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    රත්මලාන, ෆාම් බීජ් හෝටලයේ දී, ඊයේ (29) දින පැවැති එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

    මම පළමුවෙන්ම මැතිවරණ ක්‍රමය පිළිබඳව ඔබට පහදා දිය යුතුයි. මැතිවරණ ක්‍රමය පිළිබඳව අවබෝධයක් නොමැතිව මැතිවරණ කටයුතු සිදු කිරීමට නොහැකියි.


    අතීතයේ පැවතුණේ කොට්ඨාශ ක්‍රමයයි. ඒ කාලයේ පැවතුණේ කුඩා ඡන්ද කොට්ඨාශයි. මැතිවරණ අපේක්‍ෂකයන් එම තරග කළේ එම කුඩා ඡන්ද කොට්ඨාශ වෙනුවෙනියි. ඒ අනුව මැතිවරණයේදී කොට්ඨාශ බහුතරයක් දිනා ගත් පක්‍ෂයට සභාපති හෝ නගරාධිපති තේරීමේ බලය හිමි වුණා. එම ක්‍රමය අවසාන වතාවට ක්‍රියාත්මක වූයේ 1968 වර්ෂයේදීයි. මම පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කළ වසර වුණේත් 1968 වසරයි. එහිදී අපගේ ඡන්ද කොට්ඨාශය වූයේ බම්බලපිටිය මැතිවරණ කොට්ඨාශයයි. ඉන් පසුව එම මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වූයේ නැහැ. 1968 මැතිවරණයට ඡන්දය පාවිච්චි කළ බොහෝ දෙනෙකු මෙහි සිටිනවා ඇති. එම මැතිවරණයේ අපේක්‍ෂකයින් ගෙයින් ගෙට ගොස් ජනතාව සමග කතා කරමින් නව මැතිවරණ කටයුතු සිදු කළා.


    බම්බලපිටිය කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් මැතිවරණයට තරග කළේ පක්‍ෂයේ භාණ්ඩාගාරික ඊ.එල්.පී මෙන්ඩිස් මහතායි. එතුමාට විරුද්ධව සමසමාජ පක්‍ෂයේ ඩන්කන් ප්‍රනාන්දු
    මහතායි.


    නමුත් එම මැතිවරණ ක්‍රමය යටතේ නැවතත් මැතිවරණ පැවැත්වූයේ නැහැ. අනුපාත මැතිවරණ ක්‍රමය පළමුවෙන්ම ක්‍රියාත්මක කෙරුණෙ 1979 වසරේදීයි. එහිදී මනාපය ලබාදුන්නේ පක්‍ෂයටයි. පක්‍ෂය මනාප හිමිකර ගැනීමේ අනුපාතයට ලැබෙන ආසන ප්‍රමාණය පක්‍ෂයට හිමි වෙනවා. එහිදී පක්‍ෂය ඉදිරිපත් කර තිබෙන ලැයිස්තුවේ අනුව අපේක්‍ෂකයින් තෝරා පත් කර ගැනීම සිදු වෙනවා. පසුව මනාප ක්‍රමය ගෙන ඒමට කටයුතු කළා. එහිදී මනාප 03 හිමි වන්නේ අපේක්‍ෂකයින් තුන්දෙනකු වෙනුවෙන් භාවිතා කිරීම සඳහායි. නමුත් මෙහිදී එක අපේක්‍ෂකයෙකු වෙනුවෙන් මනාප 03 ම භාවිතා කිරීමට හැකි ක්‍රමයක් සකස් කර තිබුණා.


    මේ ඡන්දය පැවැත්වීම සඳහා ජනවාරි මාසයේ දිනයක් ලබා දෙන ලෙස අපි මැතිවරණ කොමසාරිස්තුමා ගෙන් ඉල්ලා සිටියා. අය-වැය යෝජනාව නිසා පාර්ලිමේන්තුවේ සෑම පක්‍ෂයක්ම දෙසැම්බර් 10 වනදා දක්වා කාර්ය-බහුල වී තිබෙනවා. ඉන්පසුව රජයේ විභාග සහ නත්තල් සමය පැමිණෙනවා. ඒ වගේම තෛපොංගල් දිනය නිසා එම වැඩකටයුතු සඳහාත් යම් කාලයක් අවශ්‍ය බව ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ පැවසුවා. එම සියලූ කාරණාවලින් පසුව මැතිවරණය එන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට අප බලාපොරොත්තු වුණා.


    මැතිවරණයට දින නියම කිරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි? පසුගිය ආණ්ඩුවේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා තමන්ට ඡන්දය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි වන ආකාරයට ඡන්ද කොට්ඨාශ බෙදා වෙන්කර ගෙන තිබුණා. සුළු ජාතීන් වෙනුවෙන් යැයි පවසමින් ඔවුන්ට වාසි සහගත ලෙස ඇතැම් ප්‍රදේශ බහු ආසන ලෙස බෙදා වෙන් කළා. සිරිකොත අවට ප්‍රදේශය ඔවුන් බහු ආසනයක් බවට පත් කළා. එම ප්‍රදේශයේ බහුතරය සිටින්නේ සිංහල, බෞද්ධ ජනතාවයි. එම ප්‍රදේශය ආසන 02ක් ලෙස බෙදා වෙන් කළා නම් එම ආසන දෙකෙහිම ජයග්‍රහණය හිමිකර ගැනීමට යූඑන්පී යට හැකි වෙනවා. එම නිසා ඔවුන්ට ජයග්‍රහණය කිරීමට අපහසු ඡන්ද කොට්ඨාශ බහු ආසනයක් ලෙස බෙදා වෙන් කළ විට එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට නොහැකි වුවත් දෙවන ස්ථානයට වැඩිම මනාප හිමිකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. ඒ හරහා ඔවුන්ට එවැනි ඡන්ද කොට්ඨාශවලදී එක් ආසනයකට හෝ හිමිකම් කීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. එම ක්‍රමවේදයට සියල්ලන්ම විරුද්ධ වුණා. කරු ජයසූරිය මැතිතුමා කථානායක වීමට පෙර මෙම කොට්ඨාශ වෙන් කිරීම පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කරනු ලැබුවා. එම කමිටු වාර්තාවෙන් යම් අඩු පාඩු තිබෙනවා යැයි පවසමින් ඇතැම් පිරිස ඊට විරුද්ධ වුණා. මෙම කරුණු නිසා ඡන්දය පවත්වන ක්‍රමය පිළිබඳව එකඟතාවයකට පැමිණීමට පක්‍ෂවලට නොහැකි වුණා.


    ඇතැමුන්, වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමයට මෙම මැතිවරණයත් පවත්වා පසුව මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා. නමුත් කොට්ඨාශ ප්‍රමාණය අඩු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නව මැතිවරණ ක්‍රමයක් ගෙන ඒමට ඒ වන විට අප තීරණය කර තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණයට ගෙන ඒමට යෝජනා කර තිබූ ක්‍රමය අත්හදා බැලීමක් ලෙස ප්‍රාදේශීය නගර සභා මැතිවරණවලට යොදා ගමු යැයි යෝජනාවක් ඇති වුණා. ඒ අනුව එම ක්‍රමයට පළාත් සභා සහ නගර සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළා. ඒ වගේම මැතිවරණ තුළ කාන්තා නියෝජනය 25% ක් විය යුතු යැයි අප 2015 දී යෝජනා කළා. එය අනුපාත ක්‍රමයට අනුව තීරණය කිරීමට පහසු වුවත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 225 ක් තිබෙනවා. එම 225 සියයට ප්‍රමාණය අනුව බෙදා වෙන්කර ගත යුතු වෙනවා. එවිට කොට්ඨාශ ක්‍රමය යටතේ පක්‍ෂ ජයගත් කොට්ඨාශ ප්‍රමාණය අඩුකරමින් ඉතිරි ආසන ප්‍රමාණය අනුමාන ක්‍රමය යටතේ පක්‍ෂවලට ලබාදීමටත් අප තීරණය කළා. එවිට සියලූම දෙනාට අනුපාතයට අනුව මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි වෙනවා. මෙම ක්‍රමය අනුව කොට්ඨාශ ක්‍රමය යටතේ ආසන 60%ක් හිමිවන අතර අනෙක් 40% අනුපාත ක්‍රමය යටතේ ලැයිස්තුවක් හරහා තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. කොට්ඨාශ ක්‍රමයේ මනාප වැඩි සංඛ්‍යාවක් හිමිකර ගන්නා පක්‍ෂයට අනුපාත ක්‍රමය යටතේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි නොවන අතර කොට්ඨාශ ක්‍රමයේ වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි පක්‍ෂවලට අනුපාත ක්‍රමය යටතේ වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අතරතුර කාන්තාවන් සඳහාත් 25% ක නියෝජනයක් ලබාදිය යුතුයි.


    මැතිවරණ පවත්වන ක්‍රමය මම ඔබට මේ පැවසුවේ ඉතාමත් කෙටියෙන්. අපේ නීතිඥයින් හරහා මේ පිළිබඳව මීට වඩා දැනුවත් කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. 1968 පැවති ක්‍රමයේදී අප ජයග්‍රහණය කිරීමට පහසු කොට්ඨාශ වෙත පමණක් අවධානය යොමු කළා. දැන් නගර සභාවේ ඡන්ද ප්‍රමාණයත් වැඩි කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි. ජයග්‍රහණය හිමි කරගන්නා පක්‍ෂ තම ඡන්ද ප්‍රමාණය වැඩි කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් තමන්ට අනුපාත ඔස්සේ ලැබෙන ආසන සංඛ්‍යාව කුඩා වීමට ඉඩ තිබෙනවා.


    අතීතයේ පැරණි ක්‍රමය ක්‍රියාත්මක කරන විට වමේ පක්ෂ විසින් ජයග්‍රහණය කිරීමට අපහසු කොට්ඨාශ අත්හැර දැමුවා. ජයග්‍රහණය කිරීමට හැකි ආසන සඳහා සම්පූර්ණ බලය යෙදෙව්වා. නමුත් වර්තමානයේ තත්ත්වය ඊට වඩා වෙනස්. ජයග්‍රහණය කිරීමට නොහැකි යැයි අපට ආසන අත්හැර දැමිය නොහැකියි. කෙසේ හෝ සියලූ මැතිවරණ කොට්ඨාශවල ඡන්ද ප්‍රමාණය වැඩි කරගත යුතුයි. කොට්ඨාශ ක්‍රමයට අනුව වැඩිම ඡන්ද ලබා ගනිමින් ආසන හිමිකර ගැනීමටත්, අනුපාත ක්‍රමය යටතේ ආසන ලබාගැනීම සඳහා වැඩි මනාප ප්‍රමාණයක් හිමිකර ගැනීමටත් යන කරුණු දෙකම මෙහිදි අත්‍යවශ්‍ය වෙනවා. එහිදී යම් කිසි ප්‍රමාණයක් කාන්තාවන්ද විය යුතුයි. මැතිවරණය වෙනුවෙන් කොට්ඨාශයට ඉදිරිපත් කළ යුත්තේ ජයග්‍රහණය කිරීමට හැකි ඡන්ද ලබාගැනීමට හැකි පුද්ගලයින් පමණයි. ලැයිස්තුවට නම් කරන පුද්ගලයින්ටත් මනාප ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි. ලැයිස්තුවෙන් තේරිපත් වන මන්ත්‍රීවරුන්ගේ වටිනාකම වැඩි වන්නේ එවිටයි.


    එසේ නොමැති අපේක්ෂකයෙක් ලැයිස්තුවෙන් පත් කිරීම පක්ෂයට අවාසියක් වෙනවා. කොට්ඨාශයට වගේම ලැයිස්තුවටත් ඉදිරිපත් කළ යුත්තේ ඡන්ද හොදින් ලබාගත හැකි අපේක්ෂකයින් පමණයි. අපේක්‍ෂකයාට කොට්ඨාශය තුළ ලබා ගැනීමට නොහැකි මනාප ලබා ගැනීමට ලැයිස්තුවෙන් ඉදිරිපත් වන අපේක්‍ෂකයාට හැකියාව තිබිය යුතුයි. මේ ක්‍රමවේදය හඳුනා නොගෙන මැතිවරණයකට එළඹිමෙන් ඵලක් නැහැ. මේ ක්‍රමවේදය තුළ කොට්ඨාශය තුළ ජයග්‍රහණයක් හිමි කර ගත යුතුයි.


    අනුපාත ක්‍රමය ඔස්සේ ලැයිස්තුවෙන් ලැබෙන ආසන ප්‍රමාණයද වැඩිකර ගත යුතුයි. විරුද්ධ පාක්‍ෂිකයින්ගේ ඡන්ද ප්‍රමාණය හැකි තරම් අඩු කළ යුතුයි. අනුපාත ක්‍රමයේ සැබෑ වාසිය ලැබෙන්නේ එවිටයි.


    සෑම ඡන්ද පළක් සඳහාම අපේ පක්‍ෂයෙන් ''ඡන්ද පොළ ක්‍රියාකාරී කමිටුවක්'' පත් කළ යුතුයි. මෙහිදීත් මම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමියට පැවසුවේ පළමුවෙන් මෙම කමිටු සියල්ල සංවිධානය කරන ලෙසයි. ඒ සියලූ කමිටු නිර්මාණ කර ගනිමින් මැතිවරණ වැඩකටයුතු ආරම්භ කරන ලෙස මම සියලූම සංවිධායකයින්ගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. තරුණ, කාන්තා, වැඩිහිටි මනාප සියල්ලම ලබා ගැනීමටත් අනෙක් පක්‍ෂ වල පාක්‍ෂිකයන්ගේ මනාපයත් ලබා ගැනීමට තරම් ශක්තියක් අප ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට තිබිය යුතුයි.


    මෙම ක්‍රමවේදය තරුණ අපේක්ෂත්වයට ඉතා වාසි සහගතයි. බොහෝ පුද්ගලයින් අප සමග පැවසුවේ මුදල් වියදම් කර මැතිවරණ කටයුතු සිදු කළත් ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි බවයි. එසේ නම් කුඩා කොට්ඨාශයක් තුළ මැතිවරණ කටයුතු කරමින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව දැන් තරුණ අපේක්ෂකයින්ට ලැබී තිබෙනවා. මෙම ක්‍රමය යටතේ විශාල වියදමක් දැරීමට ඔබට සිදු වන්නේ නෑ. මෙම ක්‍රමය කාන්තා අපේක්ෂිකාවන්ටද පහසුවක් වනවා.


    රත්මලාන ප්‍රදේශයේ කාලයක් තිස්සේ සංවිධායකවරයෙක් සිටියේ නැහැ. එය අපටත් යම් ගැටළුවක් වුණා. ආසන කීපයකටම මෙම ගැටළුව ඇතිව තිබුණා. පළාත් සභා ඡන්දය පළමුවෙන් පවත්වා ප්‍රාදේශීය සභා පසුව පවත්වන්නට ඇතැම් අය යෝජනා කළා. කෙසේ නමුත් අවශ්‍ය අවස්ථාවලට සංවිධායකයින් තෝරා පත්කරමින් අවශ්‍ය ස්ථානවල සංවිධායකයින් මාරුකිරීම් සිදු කරමින් ඒ අවශ්‍ය පුරප්පාඩු පිරවීමට අප කටයුතු කළා. එම අවස්ථාවේදී රත්මලානට සංවිධායකයෙක් පත් කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. එම කමිටුවේ සභාපතිතුමා මට වාර්තාවක් ලබා දුන්නා. මෙහිදි අප භාරදෙන රත්මලාන කොට්ඨාශයත් තමන් නියෝජනය කරන කොට්ඨාශයත් යන දෙකටම අවධානය යොමු කළ හැකි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය අපට දැනුණා. සංවිධායකවරයෙක් නොසිටි මෙම ප්‍රදේශයට මැතිවරණයේ බර හොදින් දරා ගැනීමට හැකියාව ඇති අයෙකු පත්කිරීමේ අවශ්‍යතාවය අපිට තිබුණා. රත්මලාන වැනි කොට්ඨාශයක මැතිවරණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ යුතුයි. කාලයක් රත්මලාන මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් සංවිධායකවරයෙක් පත් නොකිරීම අපෙන් වූ අතපසුවීමක් ලෙස අප සළකනවා.


    ඒ අනුව රත්මලාන වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය සංවිධායක ලෙස පත්කිරීමට අප තීරණය කළා. අපට පාර්ලිමේන්තුවෙත් කටයුතු කරන අතරම මෙම කොට්ඨාශය වෙනුවෙන් පූර්ණකාලීනව කැපවීමේ හැකියාවක් තිබෙනවා.


    එතුමියත් අපෙන් වැඩකටයුතු සිදු කිරීමට මැතිවරණ කොට්ඨාශයක් ඉල්ලා තිබුණා. ඒ අනුව අප විසින් ඇයව පත් කළා. එතුමියගේ පියාත් මගේ ඉතා හොඳ මිත්‍රයෙක්. ඔවුන්ගේ පවුලත් හරි අඩක්ම එජාප පාක්‍ෂිකයන් වන නිසා එතුමියගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කළේ. තරග කළේ ඇයි දැයි මා දන්නේ නැහැ. එතුමිය අපත් සමග සම්බන්ධතාවය පවත්වාගෙන ගියා. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේ පක්‍ෂයට ගැනීමේදී ටිකක් ඇයට එම පක්‍ෂය තුළ කටයුතු කිරීමට අපි අවස්ථාව ලබාදුන්නා. වෙනත් පක්‍ෂයකින් අපේ පක්‍ෂයට නියෝජිතයන් හරවා ගැනීමේදී එක් වරකට එක් අයෙක් හරවා ගැනීමෙන් පළක් නැහැ. එක් වරකට කිහිප දෙනෙකුම විරුද්ධ පක්‍ෂයෙන් හරවා ගත යුතු
    නිසා ඇයව අපේ පක්‍ෂයට ගැනීම අප තරමක් ප්‍රමාද කළා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා කොටසක් සමඟ ශ්‍රීලනිපයෙන් වෙනම තරඟ කිරීම සඳහා එළියට එන අවස්ථවේ මෙතුමියටත් අපි ආරාධනා කළා. ඒ අනුව එතුමිය මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් බවට පත් වුණා.


    ඒ වගේම මෙම රත්මලාන කොට්ඨාශයට සිදුවූ තවත් අතපසු වීමක් කබීර් හෂිම් මහා ලේකම්තුමා මා සමඟ පැවසුවා. අප ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු සිදු කළ පොදු වැඩ සංවර්ධන වැඩ කටයුතු ආදිය මෙම රත්මලාන ප්‍රදේශයට ලබා දීමට හැකි වුණේ ඉතාම අඩුවෙන් බව එතුමා මා සමඟ පැවසුවා. ඒ අනුව පාක්ෂිකයින් බලා ගැනීමටත් සංවිධාන වැඩකටයුතු හොදින් සිදුකිරීමටත් දැන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට අවස්ථාව තිබෙනවා.


    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට මෙහි සංවිධායක ලෙස පත් කළේ ඇයි දැයි ඇතමුන් මගෙන් ප්‍රශ්න කළා. මෙම මැතිවරණ කොට්ඨාශය දවස් කීයක් තුළ ඔබට ආවරණය කළ හැකි දැයි මම ඒ අවස්ථාවේ ඔවුන්ගෙන් විමසුවා. එම සියළු ආවරණ කටයුතු නොවැම්බර් මාසය වන විට අවසන් විය යුතුයි. මෙම ප්‍රදේශවල ඡන්ද ව්‍යාපාර කටයුතු සිදු වන්නේ අවසන් සති තුන පමණ කාලයේදීයි. එම වැඩකටයුතු ඉක්මනින් සිදු කර ගැනීමේ හැකියාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමියට තිබෙනවා.


    මෙම කොට්ඨාශයේ ක්‍රිස්තියානි ආගමික ඡන්ද තිබෙන ප්‍රදේශවල වැඩකටයුතු ඉක්මනින් සිදු කර අවසන් කළ යුතුයි. නත්තල් උත්සවය එළඹෙන විට මැතිවරණ කටයුතු සඳහා ඔවුන්ව සහභාගි කර ගැනීමට නොහැකි වනවා. මෙම ප්‍රදේශයේ ලැයිස්තුව සකස් කිරීමේ වැඩකටයුතු අපි එතුමියට භාර දුන්නා. මේ ප්‍රදේශයේ පක්ෂ සංවිධාන ඇති කිරිම ඉරාන් වික්‍රමරත්න, ලසන්ත ගුණවර්ධන මහත්වරුන්ට භාර දී තිබෙනවා. ඔබ මැතිවරණ කොට්ඨාශය සඳහා සංවිධාන ආරම්භ කළ පසු එම සභාපති, ලේකම්වරු සමග සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එහිදී අප යොදා ගන්නා උපක්‍රම මොනවාද මැතිවරණ වැඩකටයුතු සිදු කරන්නේ කෙසේද යන්න ආදිය අපට සාකච්ඡා කිරීමට
    හැකි වෙනවා.


    ආණ්ඩුවක් ලෙස බලයට පත්වීමෙන් පසු අපට පළමුවෙන්ම අවශ්‍ය වූයේ මේ ආකාරයට සංවිධායකයින් ඇති කිරීම පාක්ෂිකයින්ගේ ගැටළු විසදීම ආදියත් සිදුකළ යුතුයි. අපට පළමුවෙන් කිරීමට සිදුව තිබුණේ රටේ ආර්ථිකය බේරා ගැනීමයි. ජාතික සංහිදියාව ඇති කිරීමයි. දේශපාලන පළිගැනීම්, රැකියා ලබාදීම් ආදියටත් ඔබේ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මැදිහත්වීමට සිදුවිය හැකියි. ඒවා
    විසදා ගැනීමට අපේ සහයෝගතයත් ලබා දෙනවා.

    මෙම ස්ථානයේ රැස්වී සිටින්නේ රත්මලාන පාක්ෂිකයින් පමණයි. නමුත් අප මැතිවරණයට ඉදිරිපත් වන්නේ දෙහිවල, රත්මලාන කොට්ඨාශ එකට එක් කරමින්. මේ වන විට දෙහිවලත් මැතිවරණ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. රත්මලාන මත මෙම කොට්ඨාශයේ මැතිවරණ සමඟ තීරණය වෙනවා. අප එහි ජයග්‍රහණය හිමිකර ගත යුතුයි. එම නිසා මේ ආකාරයට ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව ඔබට පැහැදිලි කිරීමට මම කල්පනා කළා.


    මෙම ස්ථානයට අද සහභාගි වි සිටින්නන්ගෙන් වැඩි පිරිසක් පක්ෂයේ පැරණි සාමාජිකයින්. ඔබ වටා අනෙක් පිරිස එකතු කළ යුතු වෙනවා. ඔබට විසදා ගැනීමට නොහැකි වූ ගැටළුවක් අප ඉදිරියේදී විසඳීමට බලාපොරොත්තු වෙනවා. සියලුම ප්‍රාදේශීය සභා වෙනුවෙන් මුදල් වෙන් කර දීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අප ජයග්‍රහණය කරන සැම කොට්ඨාශයක් වෙනුවෙන්ම අප මුදල් ලබා දෙනවා. විරුද්ධ පාක්ෂිකයින් ජයග්‍රහණය කලහොත් ඔවුන්ට වැඩකටයුතු කිරීම සඳහා අප මුදල් ලබා දිය යුතු වෙනවා. එවිට අප ලබා දුන් මුදල්වලින් වැඩි ප්‍රයෝජන ලබා ගත්තේ ඔවුන්. ''අපි පහන් පත්තු කරනවා, එයාලා නිවන් දකිනවා'' එය සිදුවන්නට ඉඩ නොදිය යුතුයි.


    එම නිසා අප ජයග්‍රහණය කළ යුතුයි. එවිට ඔබට මුදල් වෙන් කර දීමට අපට හැකියාව තිබෙනවා. අප ඇති කරගත් ජාතික ආණ්ඩුව යටතේ රටේ ගැටළු විසදීමට අප තවදුරටත් බලය ශක්තිමත් කර ගත යුතුයි. අප බලය අඩු කරගන්නවා නම් අපට දේශපාලන ශක්තිය හීන වී යනවා. ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ හරහා අපට අපේ ශක්තිය තහවුරු කිරීමට හැකි වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ශක්තිය ලංකාව පුරාම වර්ධනය වනවා.


    මේ අවුරුදු 2ක තුළ අප රටට විශාල සේවයක් ඉටු කළා. ඒ අනුව ඉතිරි ප්‍රශ්න විසඳීමට අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා මේ මැතිවරණය ජයග්‍රහණය කරමින් අප ශක්තිමත් විය යුතුයි. අප වැඩකටයුතු කළ යුත්තේ ඒ සඳහායි. මේ ස්ථානයෙන් පිටවීමට පෙර ඔබ සියලූ දෙනා හමුවී ගැටළු ගැන සාකච්ඡා කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya