ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති හා ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

    ජනවාරි 30, 2018

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

    ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.

    මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද ග‍්‍රාමීය දිළිඳු ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන එවන් බහුකාර්ය ව්‍යාපෘති සඳහා සිය දායකත්වය සැපයීමට සූදානම් බව නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

    විශේෂයෙන් ග‍්‍රාමීය දිළිඳු ජනතාව නගාසිටුවීමේ අරමුණින් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සහය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔව්හු සඳහන් කළහ.

    මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ග‍්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් වත්මන් රජය යටතේ සිදුකරමින් පවතින බවත් ඒ සඳහා තවදුරටත් ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බවත්ය.

    දිළිඳුකමින් පීඩා විඳින උතුරු නැගෙනහිර ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කිහිපයක් ඉදිරීයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගනිමින් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීම පිළිබඳව ද රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර දේශීය කර්මාන්ත වර්ධනය කර ගැනීම තුළින් අපනයන හැකියාව ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා සහය ලබාදෙන ලෙස ආසියානු සංවර්ධන බැංකු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම සියලු කටයුතු පිළිබඳ කඩිනමින් සොයා බලා ලබාදිය හැකි සියලු සහය ලබාදීමට නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය එකඟතාවය පළ කළහ.

    ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ශී‍්‍ර ලංකාවේ කටයුතු පිළිබඳ කණ්ඩායම් නායක Kshatrapati Shivaji මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මීට එක්ව සිටී අතර ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජ පතිරණ, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya