ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අයිවෝ ඩෙනිස් මහතාගේ සමුගැනීම සුවිශේෂ හඬ පෞරුෂයක අහිමිවීමක් - අගමැති

    ජූනි 20, 2018
    ප්‍රවීණ ගායක, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා ජීවිතයෙන් සමුගැනීම, ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දේශීය අනන්‍යතාව සලකුණු කළ තවත් සුවිශේෂ හඬ පෞරුෂයක අහිමිවීම අපට යළි යළිත් අවධාරණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
     
    අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ ශෝක පණිවුඩය
     
    ප්‍රවීණ ගායක, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා ජීවිතයෙන් සමුගැනීම, ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දේශීය අනන්‍යතාව සලකුණු කළ තවත් සුවිශේෂ හඬ පෞරුෂයක අහිමිවීම අපට යළි යළිත් අවධාරණය කරයි. 
     
    කිතුනු බැතිමතකු ලෙස දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම ඇසුරින් පන්නරය ලබමින් ස්වකීය ගායන හැකියාව මුවහත් කොට ගත් අයිවෝ ඩෙනිස් මහතා ලාංකේය කිතුනු ගීත, ගීතිකා කලාවට නව මුහුණුවරක් එක් කළේය. 
     
    ලාංකේය සංගීතයේ දේශීය අනන්‍යතාව සොයා ගිය ප්‍රවීණ සංගීතඥ සුනිල් ශාන්තයන් ඇසුරේ සංගීතය හදාරන්නට ඉඩප්‍රස්ථාව හිමි වීම අයිවෝ ඩෙනිස් මහතා ලැබූ භාග්‍යයක් විය. ඔහුගේ දිගුකාලීන සංගීත දිවියේ ශක්තිමත් පදනම එය විය. 
     
    කන්තාරු ගායනාවේ සිට ජන ගායනා, සරල ගී හා චිත්‍රපට ගී සඳහා මෙන්ම ඔපෙරා, කැන්ටාටා ශෛලියේ නිර්මාණ සඳහා ද තම හඬ එක් කිරීමට තරම් අසීමිත ගායන හැකියාවක් ඔහු සතු විය. එය ගායකයකු සතු දුර්ලභ නිපුණතාවක් සේ මම දකිමි. 
     
    සුනිල් ශාන්ත මෙන්ම, ඩබ්.බී.මකුළොලූව, ආචාර්ය කේමදාස වැනි පුළුල් පරාසයක සංගීත සම්ප්‍රදායන් ඇසුරු කළ සංගීතඥයන් ගණනාවක් සමඟ එක්ව නිර්මාණකරණයේ යෙදෙන්නට ඔහුට හැකි වූයේ එහෙයිනි. එවන් සංගීතඥයන්ගේ උසස් නිර්මාණ ආලෝකවත් කරන හඬ පෞරුෂය අයිවෝ සතු විය. 
    ඔහුගේ ගායනයේ තවත් සුවිශේෂත්වයක් මම දකිමි. ගායන දිවියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔහුගේ ගායන නිපුණත්වය අසම සම විය. නිවැරදි ස්වරස්ථාන, හඬ අලංකරණ ආදී ගායකයකු සතු ගුණාංග ඔහු අතින් සැමවිටම සුරැකිණි. ඔහු ලාංකේය ගායන පරම්පරාවේ විශිෂ්ටයකු වන්නේ එහෙයිනි. 
     
    ප්‍රවීණ ගායක, සංගීතඥ අයිවෝ ඩෙනිස් සූරින්ගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට මාගේ බලවත් සංවේගය පළකරමින්, එතුමාට සදාතනික සැනසීම අත්වේවායි ප්‍රාර්ථනය කරමි. 
     
    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya