ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

    අගෝස්තු 23, 2018

    ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් අතර, ඉතිරි සියයට 12 ක ප‍්‍රමාණය ද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 02 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට  ඊයේ (22) පෙරවරුවේ එක්වෙමිනි. රටේ සමස්ත ධීවර කර්මාන්තය සකී‍්‍රය මාවතකට යොමු කිරීමේ මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක් වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 400 ක වියදමින් මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරේ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ධීවර වරාය ආශ‍්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවට ද ඉඩම් ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

    සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිතුමා ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත් විනාශ කර දමමින් රට ආපස්සට ඇද දැමු ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයට කිසිසේත් යළි රට තුළ ඉඩක් තැබිය නොහැකි බව ද කියා සිටියේය.

    පශ්චාත් යුද සමයේ වගකීම් නිසි ලෙස ඉටුකරමින් ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනාවලින් ද රට නිදහස් කර ගැනීමට වත්මන් රජය ඉකුත් වසර 03 තුළ කැපවීමෙන් කටයුතු කළේ රටට ලැබූණු නිදහස සැබෑ නිදහසක් කර ගැනීමට බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර අඩපණ වූ සංවර්ධනය යථාවත් කරමින් එම ජනතාවගේ සංවර්ධන අයිතිවාසිකම් දිනා දීමට ද රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

    ඒ වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ද ස්ථාපිත කර තිබෙන අතර එය නිරන්තරයෙන් රැස් වෙමින් ප‍්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම සිදු කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. කිසිදු ජනාධිපතිවරයෙක් තමන් තරම් උතුරේ සංචාරය කර නොමැති බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා තමන් ඒ සඳහා එක්වන්නේ එම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් අදාළ සේවාවන් කඩිනම් කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට බව කියා සිටියේය.

    උතුර ඇතුළු රටටම අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

    සමරු ඵලකය නිරාවරණය කර මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    මයිලිඩ්ඩි ධීවර ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පුද කරමින් සමරු තිළිණයක් පිළිගැන්වීම ද සිදු කෙරිණි. අනතුරුව ජනාධිපතිතුමා ප‍්‍රදේශයේ ධීවර ජනතාව සමග සුහද කතා බහක ද නිරත විය.

    අමාත්‍ය විජිත් විජිතමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා, ඩී. සිද්ධාර්තන් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාතේ මහජන නියෝජිතයින් රැසක් සහ ප‍්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya