ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    අගෝස්තු 28, 2018

    ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    ඔබ සියලු දෙනාට සුබ උදෑසනක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය මුල් කරගනිමින් සිව්වන වරට පවත්වනු ලබන මේ සමු`එවේ දී ඔබ සියලු දෙනා ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.මා ඉතාමත් සතුටින් සහ ආඩම්රයෙන් කියනවා ශ‍්‍රී ලංකාව පැහැදිලි ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් තිබෙන රටක් කියා. මැතිවරණවල විනිවිදභාවය, සුපිළිපන්නභාවය පිළිබඳව දවස් ගණන් කතා කිරීමට පුළුවන්. පොත් සිය ගාණක් ලියන්න පුළුවන්. ආසියාතික රටවල් විදියට මැතිවරණවල විනිවිදභාවය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අප මේ එක්වී සිටින්නේ ඇයි? මෙවැනි සමුළුවක් හතරවන වරටත් පවත්වන්නේ ඇයි? බොහෝ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති නිසා. බොහෝ රටවල මැතිවරණ විනිවිදභාවය නැති නිසා. නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්නේ නැති නිසා. ඒ සියල්ලෙන් අංගසම්පූර්ණ නම්, මේ සියලුම ආසියාතික රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වී තිබේ නම් මැතිවරණවල විනිවිදභාවය තිබේ නම්, නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්නේ නම් මා සිතන්නේ මෙවැනි සමුළුවක් අවශ්‍ය වන්නේ නැහැ කියා. රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් මේ සඳහා උනන්දුවක් දක්වන ආයතන මේ සියලු දෙනා එක්වී සිටින්නේ මුළු මහත් මානව ප‍්‍රජාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ අයිතිය ශක්තිමත් කිරීම, තහවුරු කිරීම සඳහා, පවත්වන මැතිවරණවල නිදහස්, සාධාරණ, යුක්තිසහගත විනිවිදභාවය ඉතා අත්‍යාවශ්‍ය නිසා එය ශක්තිමත් කළ යුතු නිසා.

    අපේ රටට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 දී. 1931 දී අපේ රටට සර්වජන ඡුන්ද බලය ලැබුණු විට ලෝකයේ සමහර බටහිර රටවලට සර්වජන ඡන්ද බලය ලැබී නැහැ. ඒ නිසා අපේ රට විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මැතිවරණවල විනිවිධභාවය සහ සාධාරණත්වය පිළිබඳව යම් යම් අවස්ථාවන්වලදී අභියෝගවලට ලක් වූවත් අපි වාසනාවන්ත රටක් කියා විශ්වාස කරනවා. අපේ රටේ මැතිවරණ කොමිසමක් ඇති වුණේ 2015 ජනවාරි මාසයේ පැවැත්වූ මා ජයග‍්‍රහණය කළ ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ. කළින් අපට තිබුණේ මැතිවරණ දෙපාර්තමේන්තුවක් සහ ඒ තුළ ක‍්‍රියාත්මක වන මැතිවරණ කොමසාරිස්වරයෙක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමක් බලය සහිතව ශක්තිමත්ව ස්ථාපිත කරලා මේ රටේ නිදහස් හා සාධාරණ මැතිවරණවලට ශක්තිමත් පදනමක් අද ඇති කර තිබෙනවා.
    මා බලයට පත්වීමෙන් පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් මෙවැනි කොමිෂන් සභා අපි මේ වන විට දහයක් පිහිටුවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභා, විගණනය පිළිබඳව කොමිෂන් සභා, රාජ්‍ය සේවය පිළිබඳ කොමිෂන් සභා, පොලිස් සේවය පිළිබඳව කොමිෂන් සභා, අධිකරණය පිළිබඳව කොමිෂන් සභා මෙවැනි නාමාවලියක් කිව හැකියි. ඒ ස්වාධීන කොමිෂන් සභා විසින් මේ රටේ අධිකරණයේ අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය ශක්තිමත් කර තිබෙනවා.
    මම අද උදේ පුවත්පත් බලන විට එක් පුවත්පතක මුල් පිටුවේ තිබුණා, ආසියාතික රටවල අලුත් වාර්තා අනුව ලංකාවේ අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳව මේ වන විට අපි ඉතාමත් ඉහළ ස්ථානයකට ඇවිත් තිබෙනවා කියා. මම ඒ ගැන සතුටු වෙනවා. මා විශ්වාස කරනවා මෙහි සිටින ඔබ දේශපාලනඥයින් නොවේ කියා. මෙහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පමණක් සිටිනවා. මගේ පූර්ණ කාලීන දේශපාලන ජීවිතය අවුරුදු 51 ක්. මැතිවරණ පිළිබඳව අත්දැකීම් රාශියක් මට තිබෙනවා. මගේ දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේ මා ලැබූ අත්දැකීම් තුළ පාර්ලිමේන්තුවේ අඛණ්ඩව අවුරුදු 27 කුත් මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් අවුරුදු 3 යි මාස 8 ක කාලයකුත් ගත කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ හයකට ඉදිරිපත් වෙලා මා ජයග‍්‍රහණය කළා. මම මේ රටේ හයවන ජනාධිපතිවරයා. ඒ වෙනුවෙන් මම අදත් මේ රටේ ආදරණීය ජනතාවට ස්තූතිවන්ත වෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු එදා මැතිවරණ කටයුතු සාධාරණව, අපක්ෂපාතීව ඉටු කළ සියලු දෙනාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කිරීම ස`දහා මා වෙත ජනතාව ලබා දුන් වරම ශක්තිමත් කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා.


    අපේ රටට විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන්නේ 1978 දි. එය අසීමිත බලතළ සහිත ජනාධිපති ධුරයක්. 1978 විධායක ජනාධිපති ධුරය 2010 න් පසුව රාජාණ්ඩු ක‍්‍රමයක බලය තිබෙන විධායක ජනාධිපති ධුරයක් බවට පත් වුණා. ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බලතළ ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙකුට නැහැ. කිසිම ජනාධිපතිවරයෙකුට නැහැ. මැතිවරණ කොමසාරිස් පත්කරන්නේ ජනාධිපති. නීතිපති පත්කරන්නේ ජනාධිපති. අග‍්‍ර විනිශ්චයකාරතුමා පත්කරන්නේ ජනාධිපති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පත්කරන්නේ ජනාධිපති. පොලිස්පති පත්කරන්නේ ජනාධිපති. ස්වාධීන කොමිෂන් සභා කියා බෝඞ් එකට තිබුණු කොමිෂන් සභා පත්කරන්නේ ජනාධිපති. ඒ සියල්ල ජනාධිපතිවරයෙකුගේ තනි අභිමතය. අමාත්‍යාංශ ලේකම්වරු පත්කරන්නේ ජනාධිපති. මම ඒ සියල්ල අහෝසි කළා.


    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් රාජාණ්ඩු ක‍්‍රමයක තිබූ අසීමිත විධායක බලතළ අහෝසි කරලා මේ තනතුරේ බලය පාර්ලිමේන්තුවට පැවරුවා. ඒවා ස්වාධීන කොමිෂන් සභාවලට පැවරුවා. මේ රටේ 1982 සිට ජනාධිපති ඡුන්ද හයක් තිබිලා තියෙනවා. එම ජනාධිපති ඡුන්ද හයෙන් අපේක්ෂකයෙක් විදියට මා තරම් පීඩාකාරී ප‍්‍රශ්නවලට මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙක් නැහැ. මම වේදිකාවේ කතා කරන විට වේදිකාවට පහර දුන්නා ගල් වර්ෂාවලින්. මටත් ගල් වැදුණා. මා සමග සිටි අයට තුවාල වුණා. ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් කතා කරන අවස්ථාවක එවැනි ප‍්‍රහාරයක් එල්ල වුණ පළමු අවස්ථාව එයයි. මගේ වේදිකා ගිනි තිබ්බා. රාජ්‍ය මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සියලු මැතිවරණ නීති උල්ලංඝණය කරලා ඉතාමත් අසීලාචාර විදියට ඒවා ක‍්‍රියාත්මක වුණා රාජ්‍ය බලයේ සිටින අපේක්ෂකයා වෙනුවෙන්.


    රාජ්‍ය මුදල් භාණ්ඩාගාරය මැතිවරණ ජයග‍්‍රහණය ස`දහා සම්පූර්ණයෙන්ම එළියට ඇදලා ජනතාවට බෙදා දුන්නා. රටේ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න මේ රටේ අලුත් වෙනසක් කළා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා. මේ වසර තුන හමාරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න ගත හැකි සෑම පියවරක්ම අරගෙන තියෙනවා. ජනතාවගේ නිදහස, මානව හිමිකම් ශක්තිමත් කරන්න ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම අරගෙන තිබෙනවා. දූෂණයෙන් තොර අපක්ෂපාතී, සාධාරණ, නිදහස් මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමසාරිස්තුමන්ලාට සම්පූර්ණ බලතල දීලා තිබෙනවා.


    මීට මාස 6 කට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වුණා පසුගිය පෙබරවාරි මාසයේ 10 වෙනිදා. තිබු මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කරලා කොට්ඨාස ඡන්ද ක‍්‍රමය හඳුන්වා දුන්නා. ඒ තුළ ඉතාම නිහඬ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිරිසිදු සාධාරණ නිදහස් මැතිවරණයක් පැවැත්වුණා. ඒ පිළිබ`දව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමසාරිස්වරුන්ට ස්තූතිවන්ත වෙනවා. 2015 මැතිවරණයේ දී බරපතළ ලෙස මැතිවරණ නීති රීති උල්ලංඝණය කරමින් රටේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රතිවාදීන් ක‍්‍රියාත්මක කරන විට මැතිවරණය දවසේ ඡන්ද පෙට්ටියකට අත තිබ්බොත් ඒ අත තියන කෙනාගේ ඔලූව කුඩු වෙන්න වෙඩි තියන්න කියලා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහත්මයා පොලීසියට උපදෙස් දුන්නා. ඒ විදියට මැතිවරණ නිලධාරීන් අපක්ෂපාතීව සාධාරණව සිය වගකීම සහ යුතුකම ඉටු කළා.


    අප රටක් විදියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් මැතිවරණ වල විනිවිදභාවය, අපක්ෂපාතීත්වය පෝෂණය කරමින් ප‍්‍රවර්ධනය කරමින් අපි හොඳ ගමනක් යන රටක්. මගේ රටට පැමිණි විදේශීය නියෝජිතයිනි ඔබ සියලු දෙනා මා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා වගේම මේ පුණ්‍ය භූමියට ඔබ පැමිණීම පිළිබදව මා ස්තූතිවන්ත වෙනවා. ඔබ ඊයේ, පෙරේදා හෝ අද පෙරවරුවේ මේ රටට එන්න ඇති .ඔබ දකින්න ඇත්තේ ගුවන් තොටුපළෙ සිට කොළඹ නගරය දක්වා පමණක් වෙන්න ඇති. ඔබ ඒ විනාඩි කිහිපයේ මේ රටේ දුටු ලස්සන සහ සුන්දරත්වය ඊට වඩා දකින්න පුළුවන් රට ඇතුළට ගිය විටදී. වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන, වසර 5000 කට වැඩි තාක්ෂණික, කාර්මික උරුමයින් තිබුණු බවට සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙන රටක් විදියට ඉහළ කලා ශිල්ප, වාරි ශිෂ්ටාචාරය ඇති මේ රටට ඔබ පැමිණියාට මා ඔබට ස්තූතිවන්ත වෙනවා.


    මේ සමුළුවේ අරමුණු ඉටු කරගැනීමට ශ‍්‍රී ලංකා රජය කැපවෙනවා. මේ සමුළුව තුළ ගන්නා තීරණවලට අපි එකඟතාවය ඇති කර ගන්නවා. අපිට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කරන්න, මානව හිමිකම් ශක්තිමත් කරන්න. මාධ්‍ය නිදහස ශක්තිමත් කරන්න. ඒ සියල්ල අපි කරලා තිබෙනවා. අපිට අවශ්‍ය වන්නේ සියලු මැතිවරණ නිහඬ, සාමකාමී, සාධාරණ මැතිවරණ බවට පත් කිරීමටයි. ඒ තුළින් රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමටයි අවශ්‍ය වන්නේ.
    මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය, ඊට අනුග‍්‍රහය දැක්වූ සියලු ආයතන හා සංවිධානවලට, මාධ්‍යයට ස්තූති කරමින් ඔබෙන් සමුගන්නවා.


    ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya