ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකා – නේපාල ජනාධිපතිවරු හමුවෙති

    සැප්තැම්බර් 03, 2018

    දෙරට අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබේ .....

    බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය අතර නිල හමුව  සිදු විය.

    නේපාලයේ ජනාධිපති මන්දිරය වන ශිතල් නිවාස් වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහිදී නේපාල ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබුවාය.

    ජනාධිපතිතුමාගේ නේපාල සංචාරය පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිනිය දෙරට අතර පවතින ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික බැඳීම පමණක් නොව ඉතා ඈත අතීතයකට දිවයන හෘදයාංගම සබඳතාවය ද සිහිපත් කළාය.

    එමෙන්ම බිමිස්ටෙක් සමුළුවේ නව සභාපති ධූරයෙන් පිදුම් ලැබීම පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය සුබපැතුම් පිළිගැන්වූ නේපාල ජනාධිපතිනිය එහි කටයුතු සාර්ථක කර ගැනීමට ඕනෑම සහයක් ලබාදෙන බව ද ප‍්‍රකාශ කළාය.

    ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර ධීවර, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත‍්‍රයන්හි සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

    2017 වසරේ ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගිවීමට ශ‍්‍රී ලංකාවේ සිදු කළ සංචාරය ද සිහිපත් කළ නේපාල ජනාධිපතිනිය එහිදී ලබාදුන් මිත‍්‍රශීලි පිළිගැනීම ද ගෞරවයෙන් යුතුව සිහිපත් කළාය.

    එමෙන්ම සෑම වසරකම ශ‍්‍රී ලංකාවෙන් නේපාලයට ලබාදෙන ජනාධිපති ශිෂ්‍යත්ව 05 පිළිබඳව ද සිහිපත් කළ නේපාල ජනාධිපතිනිය ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළාය.

    ලුම්බිණියේ ගෞතම බුද්ධ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප‍්‍රමිතියෙන් යුතුව කඩිනමින් සංවර්ධනය කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, එවිට ශ‍්‍රී ලංකාවේ බෞද්ධයින්ට ඝෘජුවම පැමිණ ලුම්බිණිය වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපතිනිය සඳහන් කළාය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ නේපාලයේ ශ‍්‍රී ලංකා බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කර ඇති ලුම්බිණි සංවර්ධන භාරය විසින් සකස් කර තිබෙන පුළුල් සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට තම උපරිමය සහය ලබාදීමට සූදානම් බවයි.

    රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර නව අවබෝධතා ගිවිසුම් 02 කට අත්සන් තැබීම ද සිදු විය.

    ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍ය සේවකයින් පුහුණු කිරීමේ අවබෝධතා ගිවිසුමට නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නේපාලයේ ශ‍්‍රී ලංකා තානාපතිනි ඩබ්ලිව්.එස්. පෙරේරා මහත්මිය අත්සන් තැබීය.

    තරුණ සංවර්ධනය වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුමට ද නේපාලයේ ශ‍්‍රී ලංකා තානාපතිනි ඩබ්ලිව්.එස්. පෙරේරා මහත්මිය සහ නේපාල කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්සන් තැබීය.

    ජනාධිපතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද නේපාල ජනාධිපතිනිය විසින් සූදානම් කර තිබූ අතර, අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඊට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya