ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නවක වදයට දැඩි දඬුවම් ලබාදීමේ නීති කි‍්‍රයාත්මක කරනවා- ජනපති

    සැප්තැම්බර් 08, 2018

    නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

    විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන එම වැඩපිළිවෙළට ඉඩ තැබිය නොහැකි අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ද ඉදිරියේදී රජය විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට  ඊයේ  (07) පෙරවරුවේ එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ විශ්වවිද්‍යාල වරම් ලැබුව ද නවක වදය හේතුවෙන් පසුගිය කාලය තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවු සිසුන්ගේ සංඛ්‍යාව 1500 කට වැඩි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බවයි. එමෙන්ම පසුගිය වසර 25 තුළ නවක වදය හේතුවෙන් මිය ගිය සිසුන් සංඛ්‍යාව 25 කට ආසන්න බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉන් මානසිකව මෙන්ම ශාරීරිකව ද පීඩාවට පත්වූ පිරිස දහස් ගණනක් බව කියා සිටියේය. සුළු පිරිසකගේ මෙවන් ම්ලේච්ඡ කි‍්‍රයාකාරකම් හේතුවෙන් බහුතරයක් දරුවන්ගේ අනාගතය විනාශවීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    අද ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බිලිගෙන තිබෙන අතර, රට භාරගැනීමට සිටින දරු පරපුර අතර ම්ලේච්ඡත්වය පැතිරවීමට දරන එම උත්සහයන් පරාජය කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    එමෙන්ම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ලෝකයත් සමග ඉදිරියට යන රටක් ලෙස මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුවිය යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා ඇතැම් අවස්ථාවල දී අධ්‍යාපන විශේෂඥයින් තවමත් සුදානම් නොමැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවයි. ජනපි‍්‍රය යැයි සැලකෙන ඇතැම් පාසල් සඳහා වාර්ෂිකව අධික සිසුන් පිරිසක් ඇතුළත් කර ගැනිම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීමට එක් හේතුවක් වී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මෙවන් අභියෝගකාරී තත්ත්වයන් පිළිබඳ වගකිවයුතු පිරිස්වල අවධානය නිසි කලට යොමුවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    වෘත්තීය අධ්‍යාපනයේ තිබෙන සාම්ප‍්‍රදායික තත්ත්වයන් වෙනස් කරමින් අලුත් ලෝකය සහ නවීන තාක්ෂණය සමග එය යාවත්කාලීන වීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපතිතුමා ජාතික නිෂ්පාදන කි‍්‍රයාවලියට, තාක්ෂණික හා කර්මාන්ත ක්ෂේත‍්‍රවලට අවශ්‍ය වෘත්තීය කුසලතා සපිරි දක්ෂ තරුණ තරුණියන් පිරිසක් මෙන්ම විදෙස් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් පුහුණු ශ‍්‍රම බළකායක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

    නවීන තාක්ෂණික පහසුකම් සහිත පොළොන්නරුව නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය පාරේ, දොර දෙක ප‍්‍රදේශයේ පිහිටි අක්කර 17 ක භූමි භාගයක ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6500 කි. නෙදර්ලන්ත රජය ඊට ණය පහසුකම් සපයයි. නවීන තාක්ෂණික පහසුකම් සහිත මෙම පුහුණු ආයතනය මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 4 හා 5 වන මට්ටමේ තාක්ෂණික ශිල්පීන් හා ඩිප්ලෝමාධාරින් 1325 ක් සඳහා වාර්ෂිකව පූර්ණ කාලීන පාඨාමාලා පුහුණුව ලබාදීමටත් ඊට අමතරව රැකියාවේ නියුතු වෘත්තිකයන් සඳහා තාක්ෂණික දැනුම යාවත්කාලීන කිරීමේ අර්ධකාලීන පාඨාමාලා පැවැත්වීමටත් යෝජිතයි. එමෙන්ම ඉදිකිරීම්, මෝටර් තාක්ෂණය, විද්‍යුත් යාන්ති‍්‍රක, ආගන්තුක සත්කාර හා සංචාරක, කෘෂිකර්මික යන ක්ෂේත‍්‍ර යටතේ පුහුණු පාසල් 05 ක් ආරම්භ කර ඒවායේ නවීන තාක්ෂණික පහසුකම් සහිත පූර්ණකාලීන වෘත්තීය පාඨාමාලා 34 ක් පවත්වාගෙන යාමට ද නියමිතය. අදාළ ඉදිකිරීම් වසර 03 කින් නිමකර 2022 ජනවාරි මස සිට පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ ජනාධිපතිතුමා එම පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. නිපුණතා සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය එළිදැක්වුනේ ද ජනාධිපතිතුමා අතිනි.

    අමාත්‍ය සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ද නෙදර්ලන්ත තානාපතිනි Joanne  Dloornewaard මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya