ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නැහැ-ජනාධිපති

    සැප්තැම්බර් 09, 2018

    අද ජනාධිපතිවරණයක් පිළිබද අනවශ්‍ය උණුසුමක් රට තුළ ඇති කර තිබෙන බව සඳහන් කරන ජනාධිපතිතුමා ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබාදෙන බවට ඇතැමුන් ප‍්‍රකාශ නිකුත් කළත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවත් එසේ පවත්වනවා නම් ඒ පිළිබඳ තීරණයක් ගත හැක්කේ තමාට පමණක් බවත් සඳහන් කරයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ  ඊයේ (08) පෙරවරුවේ නිවිතිගල මහජන පොළ භූමියේ පැවති නිවිතිගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවයි. තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණය ද ඔවුන් කිසිවෙකුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩැනැගිය නොහැකි බව සිහිතබා ගත යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පුද්ගලයින් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වන අතර රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් සහ දැක්මත් සහිත දේශපාලන ව්‍යාපාරයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. මාතෘ භූමිය පිළිබඳ නිසි දැක්මත් සහ දර්ශනයක් ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩි කරගනිමින් අද සාර්ථක ඉදිරි ගමනක නිතරව සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එමෙන්ම මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිතුමා සඳහන් කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන අතර රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත්, එබැවින් දේශපාලන ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අග‍්‍රාමාත්‍යවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවයි.

    තමන් පිළිබඳ කුමන විවේචන ඉදිරිපත් කරමින්, දේශපාලන වශයෙන් ප‍්‍රතිවාදින් කුමන අන්දමින් පහර දුන්න ද එම කිසිවෙකු ඉටු නොකළ වැඩ කොටසක් තමා රට වෙනුවෙන් ඉටුකර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ලොව කිසිදු නායකයෙකු නොකළ අන්දමින් විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරාදෙමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් පොඩි මිනිසාට ද ඉහළට යා හැකි පසුබිම තමා විසින් නිර්මාණය කරදුන් බව කියා සිටියේය.

    සැබෑ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්තිය එය බව සඳහන් කළ ජනාධිපතිතුමා මේ රටට සැමදා ගැළපෙන්නේ එම දර්ශනය සහ ප‍්‍රතිපත්තිය බව ද සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින බව අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ප‍්‍රධාන චෝදනාව වුව ද එසේ සිදු කළේ පසුගිය රජයට කළ නොහැකි වූ දේ ඉටුකිරීමට බවත් රටට අහිමිව තිබූ ජාත්‍යන්තර සහයෝගය නැවත දිනා ගනිමින් අද රටේ සංවර්ධනයට විශාල වශයෙන් එම සියලුදෙනාගේ සහය ලබාගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම 24 වන දා තමන් එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය ඇමතීමට නියමිතව තිබෙන බවත් ආරක්ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම පිළිබඳව එහිදී ජගත් සංවිධානය හමුවේ නව ප‍්‍රකාශයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත්ය. රට හමුවේ ඇති අභියෝග රැසකට ඒ තුළින් විසඳුම් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එමෙන්ම රත්නපුර දිස්ති‍්‍රක්කයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණදි ඇති ප‍්‍රධාන ගැටලුවකට විසදුම් ලබාදෙමින් එහි ජනතාවට ප‍්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව ලබාදීමට පොලිසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් ලබාදෙන බව ද සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කැපවූ රත්නපුර දිස්ති‍්‍රක්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 10 දෙනෙකු ඇගයීමට ලක් කරමින් තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නිවිතිගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාෂිත ලියන්ගේ. ජගත් පුෂ්පකුමාර, අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුන් අතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරින් රැුසක් මීට එක්ව සිටියහ.

    මේ අතර නිවිතිගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya