ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක්

    ජූනි 08, 2019

    පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිතුමා පවසයි.

    මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලුදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.

    අප්‍රේල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේ දී සාම්ප්‍රදායානුකූළව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ජාවත්ත ප්‍රදේශයේ පිහිටි සළුසල ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩම පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන් අතර, රජයට බරක් ව පවතින සහ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන සළුසල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ද උපදෙස් දුන්නේ ය.

    පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උසස්වීම්වලට අදාල ව සකස් කර තිබෙන වැඩපිළිවෙළ පිලිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එම උසස්වීම්වලට අදාළව යොමු කළ යෝජනාවලිය පොලිස් කොමිසම විසින් අනුමත කිරීමෙන් අනතුරව මේ වන විට වැටුප් කොමිසම වෙත යොමු කර තිබෙන අතර, ඔවුන්ගේ ද අනුමැතිය යටතේ හැකි ඉක්මණින් කාණ්ඩ 03ක් යටතේ එම උසස්වීම ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කෙරිණි.

    විශේෂ කාර්ය බලකායට නව භටයන් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය සහ අවි ආයුධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, විෂ මත්ද්‍රව්‍ය මැඩැලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.

    21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මෙහෙයුම්වල දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ප්‍රදානයන් ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එමෙන් ම සයින්දමරුදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් රැදී සිටි ස්ථානය පිළිබඳ දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙත ද ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya