ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අනාගත පරපුර වෙනුවෙන් වඩාත් හොඳ රටක් ගොඩනැගීමට අත්වැල් බැඳ ගනිමු - ජනපති

    දෙසැම්බර් 12, 2014

    දිනාගත් නිදහසත්, ගොඩනැගූ රටත් ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් වඩාත් හොඳ රටක් ගොඩනැගීමට සියලු දෙනා අත්වැල් බැඳ ගනිමු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවට ඇරයුම් කළේය.

     

    2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග‍්‍රහණය තහවුරු කිරීමේ විජයග‍්‍රාහී මංගල ජන රැලිය රජරට අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේ පැවැත්වුණු අතර එම ජන හමුව අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.


    අද ශක්තිමත් දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ අත්වැල් බැඳ ගෙන සිටී. එම සියලු දෙනා දායක කර ගනිමින් රට තව තවත් සංවර්ධනයෙන් ඉදිරියටම ගෙන යාමට කැපවන බවට ජනාධිපතිතුමා මෙහිදී ජනතාවට සහතික විය.

    රජරට ප‍්‍රදේශයේ ජනතාව ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මහත් උද්යෝගයෙන් යුතුව සල්ගාදු ක්‍රීඩාංගණයට එක් රැස්ව මාතෘ භූමිය දින වූ තම රාජ්‍ය නායකයාට උපහාර පුද කර සිටියහ. ජනාධිපතිතුමා ක්‍රීඩාංගණයට පැමිණෙත්ම ප්‍රීති ඝෝෂා නගමින් එතුමාව මහත් හරසරින් පිළිගත් ජනතාව එතුමා වෙත තම සුභාශිංසන ද පළ කළහ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග‍්‍රහණයට සහය පළ කරමින් තලාව ප‍්‍රදේශීය සභාවේ විපක්ෂ නායක සනත් දිසානායක, මිහින්තලය ප‍්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ යන මහත්වරුන් එජාප සාමාජිකයින් විශාල පිරිසක් සමග වේදිකාවට පිවිසීම ද විශේෂත්වයක් විය.

    ජන හමුව අමතමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    දැන් කතා කරන්න දෙයක් නැහැ. බොහොම පැහැදිලි ජයග‍්‍රහණයක් මේ ජනතාව පෙන්වනවා. මේ රැලියට, මේ කී‍්‍රඩාංගණයට ඇවිත් ඔබ පෙන්වන්නේ ඔබේ අදහසයි. ද්‍රෝහීන්ට තිබෙන ඔබේ විරෝධයයි.

    මම නුවර තිබූ රැස්වීම්වලට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. ඔබ ඒ උත්තරය දී අවසන්. අපහාස කරලා දේශපාලනය කරන්න බැහැ. මේ ජනාධිපතිවරණ මැතිවරණය කියන්නේ ජනමත විමසුමක් නෙවෙයි. ඒ අය සියලු දෙනා කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. මම ව්‍යවස්ථාව වෙනස් කරන්නම් ජනතාවගේ කැමැත්ත අනුව. ජනමත විමසුමක් කරලා. මේ ජනාධිපතිවරණය මේ රටේ අනාගතය ගැන තීරණය කරන මැතිවරණයක්. මෙය වඩාත් ගැඹුරුයි.

    අද මේ අයට කියන්න දෙයක් නැහැ. පාරවල් හදලා දෙනවා කියන්න බැහැ. විදුලිය දෙනවා කියන්න බැහැ. රට සංවර්ධනය කරලා නැහැ කියන්න පුළුවන්ද? ත‍්‍රස්තවාදය ඉවර කරලා නැහැ කියන්න පුළුවන්ද? නමුත් ත‍්‍රස්තවාදීන් තවම ඉන්නවා. ඒ අය ඉන්නේ මෙහේ හෝ කැලෑවල නෙවෙයි. එයාලා ඉන්නේ පිටරට හැංගිලා. එයාලා තමයි කලින් කලට ඇවිත් රඟපාන්නේ. දැන් කියනවා හේග්වලට අරගෙන යනවා කියලා. මානව හිමිකම් කොමිසම අහනවා හමුදාවේ අණදෙන නිලධාරියාගේ ඉඳලා තිබෙන ව්‍යුහය. කවුද හමුදාපති, කවුද හමුදාවට අණ දෙන්නේ කියලා. මේ එන්නේ මොනවාටද? මේ එන්නේ විධායකයා වශයෙන් ව්‍යවස්ථාවේ සේනාධිනායකයා කවුද කියලා අහන්න. මම බොහොම පැහැදිලිව කියනවා අපේ හමුදාව කිසිදු දිනෙක සිවිල් වැසියන් ඝාතනය කළේ නැහැ. අපි කිසිම හමුදාවේ නිලධාරියෙකු කිසිවිටෙක හේග්වලට ගෙනයන්න ඉඩ දෙන්නේ නැහැ.

    අපි මේ අයට කියන්න  ඕනෑ අද අපි කරන්න යන දේ. මම මෙවර අයවැය ඉදිරිපත් කළා. ඒ අයවැයෙන් මේ රටේ තරුණයින් 150,000කට රැකියා අවස්ථා ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා.

    අපි අනාගතය ගැන කතා කළා. මේ අනාගතය ගැන තීන්දු ගන්න මැතිවරණයක්. අපිට දර්ශනයක් තිබෙන්න  ඕනෑ. අලුත් පරිච්ඡේදයක් අපි ගෙනයන්න  ඕනෑ. 2005 දී ඔබ ඉල්ලුවේ ත‍්‍රස්තවාදයෙන් රට බේරා දෙන්න කියලා. ශී‍්‍ර මහා බෝධියට පහර දීපු, ගම්වලට පැනලා ජනතාව මරා දමපු, කුසේ ඉන්න නූපන් දරුවන් පවා මරා දාපු ඒ කෲර ත‍්‍රස්තවාදියා මර්දනය කරන්න කිව්වේ. අපි එහෙම කළේ නැතිද? අපි කරනවා කිව්වොත් කළා. එය අපි පැහැදිලිව කළා. අවුරුදු තිහක් තියාගෙන හිටපු ත‍්‍රස්තවාදය අවුරුදු හතරක් යන්න පෙර ඉවර කළා. ඊළඟ මැතිවරණයෙන් කිව්වේ රට සංවර්ධනය කරනවා කියලා. සංවර්ධනය කළේ නැතිද? අපි රට සංවර්ධනය කළා. දැන් කොළඹ ඉඳලා නුවරට යන්නේ කොපමණ වෙලාවකින්ද? මැදවච්චියට යන්නේ කොපමණ වෙලාවකින් ද? තව අවුරුදු දෙකකින් කොළඹ ඉඳලා අනුරාධපුරයට පැය 02න් එන්න පුළුවන්.

    අපේ ඊළඟ බලාපොරොත්තුව අනුරාධපුරේ හැම නිවසකටම පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන්න. එය ඔබට පමණක් නොව එහා කොනේ ඉඳලා මෙහා කොනට ලංකාවේ හැම ගමකටම, නගරයකටම පානීය ජලය දීමේ වැඩපිළිවෙළ දියත් කරනවා. වකුගඩුවලට මුදල් දීලා හරියන්නේ නැහැ. රජයෙන් වකුගඩු රෝගියෙකුට මාසිකව රුපියල් තුන්දහසක් ලබා දුන්නා. අපි සංවර්ධනය පමණක් නෙවයි සිදු කරන්නේ. ජනතාව ගැන අපි බලලා තිබෙනවා. ජලය දුන්නා ම වකුගඩු රෝගයත් අවසන් කරනවා කියලා මම කියනවා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා අඩු ආදායම්ලාභීන්ට ලැබුණු රුපියල් සියය වෙනුවට දැන් දහසක් දෙනවා. එය ඉදිරියේ දෙදහසක් වෙනවා. ඒ ආකාරයටයි වැඩ කර තිබෙන්නේ. ආබාධිත දරුවන් වෙනුවෙන්, ආබාධිතයින් වෙනුවෙන්, ඉගෙන ගන්නා ආබාධිත දරුවන් වෙනුවෙන් අපි මුදලක් ගෙවනවා. මේවා අපි කළේ මේ රටේ මිනිසුන්ගේ හදවත අපි දැකපු නිසා. අපි පන්සලකට ගියාම මේ අම්මලා ඇවිත් කියන ප‍්‍රශ්නවලට අපි සවන් දෙනවා. මේ ප‍්‍රශ්නය මේ අම්මලාගේ පමණක් ප‍්‍රශ්නයක් නෙවයි. ඒ සියලු දෙනා වෙනුවෙන් අපි ඒ ප‍්‍රශ්නය විසඳනවා.

    මෙය සීත කාමරවල ඉඳගෙන කරපු අයවැයක් නොව ජනතාව අතරට ඇවිත් ජනතාවගේ හදවත හඳුනාගෙන හදපු අයවැයක් කියා මම කියනවා. අයවැයේ තිබෙන්නේ දෙන දේවල් ගැන. අනාගතයට.

    තරුණයින් වෙනුවෙන් කළ වැඩ කොටස පමණක් නොව, ඔබේ දරුවා වෙනුවෙන්, අධ්‍යාපනය ලබන දරුවා වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය ගැන සිතා ගමට මහින්දෝදය විද්‍යාගාර ගෙනැවිත් ඒ විද්‍යාගාරවලින් මේ රටේ විද්‍යාඥයින් බිහි කරන්න, ගමේ දරුවන්ට තැනක් දෙන්න කටයුතු කීරීමයි අපේ බලාපොරොත්තුව. ලෝකයට ගිහින් ලෝකය ජයගන්න පුළුවන් දරුවෝ මේ අනුරාධපුරයෙන් බිහිවෙලා තිබෙනවා. එයයි ඇත්ත කතාව. අපි ඒ ජනතාවට අපේ ගෞරවය පුද කරනවා. අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.

    සමහරු ඇවිත් වෛරයෙන්, ක්‍රෝධයෙන් අපට මඩ ගසනවා. අනාගතයේ බලා ගන්නම් කියනවා. කොමිසම් දානවා කියනවා. මෙහේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයෙත් දමනවා කියනවා. ඒවා දාගන්න කියන්න. ඒවාට අපි බය නැහැ. අපේ අත්වල කුණු ගෑවිලා, ලේ ගෑවිලා නැහැ.

    මේ රටට විනය, සාරධර්ම අවශ්‍යයි. අපේ අනාගත පරපුර ගොඩ නගන්න, රටක් සංවර්ධනය කරන්න ඒ විනය තිබෙන්න  ඕනෑ. සාරධර්ම දරුවන්ට උගන්වන්න  ඕනෑ. ඒ තුළින් තමයි රටක් ඉදිරියට යන්නේ. එයයි අපිට අවශ්‍ය ඒ සඳහා අපිත් සමග අත්වැල් බැඳගන්න. ගොවි ජනතාවට මොරගහකන්ද ජල යෝජනා ක‍්‍රමයෙන් වතුර ටික එනකොට, වැව් ටික පිරෙන කොට, නියඟය පරාජය කරන්නත් ඔබට හැකිවෙයි කියා අපි විශ්වාස කරනවා.

    ස්ථාවර ආණ්ඩුවක් අස්ථාවර කරන්න ඉඩ දෙන්න බැහැ. බටහිර ලෝකය ගිහින් මැද පෙරදිග ස්ථාවර ආණ්ඩු කඩා දමපු ආකාරය අපි දැක්කා. ඒ තත්ත්වය මේ රටේ ඇති කරන්න ඉඩ දෙන්න බැහැ. ඒ සඳහා ඔබ ඉඩ දෙන්නෙත් නැති බවත් අපිට විශ්වාසයි. ඔබ අපත් සමග අත්වැල් බැඳගන්න.

    අපිට එකතු වෙලා ඉන්නේ පුද්ගලයන් නෙවෙයි දේශපාලන පක්ෂ. මෙතැන කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු මේ සියලු දේශපාලන පක්ෂයි එකතු වෙලා ඉන්නේ. දැවී ගිය පුද්ගලයින් නෙවෙයි. පක්ෂයක් වශයෙන් මහින්ද චින්තන ඉදිරි ගමන තවත් ඉදිරියට යන්න පැහැදිලි වැඩසටහනක් සමඟ ජාතියට දායකත්වයක් දෙන්න. ජාතිය ආරක්ෂා කරමින්, රටේ ඒකීය භාවය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන්න ඔබේ වරම තුන්වෙනි වතාවටත් අපි ඉල්ලනවා. ඔබ සියලු දෙනාම එකා මෙන් කටයුතු කරන්න. ඉවසීමෙන් මේ ජයග‍්‍රහණය විශිෂ්ට ජයග‍්‍රහණයක් කරන්න ඔබ සූදානම් වෙන්න.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයට ජය වේවා. අනුරාධපුර ජනතාවට ජය වේවා.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya