ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතෘ භූමිය තවත් රටක යටත් විජිතයක් වන කිසිදු ගිවිසුමකට එළැඹෙන්නේ නැහැ - ජනපති

    මාර්තු 03, 2015
    මාතෘ භූමිය තවත් රටක යටත් විජිතයක් වන කිසිදු ගිවිසුමකට එළැඹීමට තම රජය සූදානම් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය. අද ලෝකයේ ප‍්‍රබල රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් යටත් කර ගැනීමට උත්සාහ දරන්නේ සංවර්ධන, ආර්ථික, ආරක්ෂක කටයුතු ඇතුළු විවිධ විෂයන් සඳහා අත්සන් තැබෙන ගිවිසුම් තුළින් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම ගිවිසුම්වලට අත්සන් තැබිමේ දී රජය කටයුතු කරන්නේ ඉතා ප‍්‍රවේශමෙන් සහ බුද්ධිමත් ව බව ද කියා සිටියේ ය.
     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (02) පස්වරුවේ වාරියපොළ ශී‍්‍ර සුමංගල පිරිවෙන් රජමහා විහාරස්ථානයේ පැවති ශී‍්‍ර සුමංගල නා හිමි ගුණ සමරු ජාතික උත්සවයට එක්වෙමිනි.
     
    එදා මේ රට යටත් විජිතයක් ව පැවති සමයේ අප මුහුණ දුන් අමිහිරි අත්දැකීම් කිසිදා අමතක නොකළ යුතු බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අධිරාජ්‍යයවාදීන් එදා අපේ සංස්කෘතිය, ආගම, පමණක් නොව මනුෂ්‍යත්වය ද විනාශ කරමින් අපේ උරුමය අපට අහිමි කළ බව පැවසී ය.
     
    වසර හාරසියක එම අත්දැකීම් අනාගතය ගොඩනැගීමේ දී අපට දැඩි ව ඉවහල් වන බව ද පැවසූ ජනාධිපතිතුමා රට රැකගැනීමට අද දවසේ අප විසින් ඉටුකළ යුතු වගකීම් සහ පරිත්‍යාගයන් පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද පැවසී ය. 
     
    රට, ජාතිය රැකගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වාරියපොළ ශී‍්‍ර සුමංගල නායක හිමි ගුණ සිහිපත් කළ ජනාධිපතිතුමා උන්වහන්සේගේ චරිතය අද දවසේ අපට මහඟු ආදර්ශයක් බව ද පැවසීය.
     
    වාරියපොළ ශී‍්‍ර සුමංගල නා හිමි ගුණ සමරු ග‍්‍රන්ථය ද මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
     
    අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ගලගම ධම්මදස්සි, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි, විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, වාරියපොළ ශී‍්‍ර සුමංගල පිරිවෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ ශී‍්‍ර සීලක්ඛන්ද, කෝට්ටේ ශී‍්‍ර නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය මීට වැඩම කර සිටි අතර අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ මීට එක්ව සිටිය හ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya