ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන පලිගැනීම්වලින් තොරව රට ගැන සිතා එකමුතුව වැඩ කරමු

    මාර්තු 30, 2015
    ජාතික ආණ්ඩුවකට එක්වෙමින් කැබිනට් අමාත්‍ය ධූරයක කටයුතු භාරගනු ලැබුවේ තනතුරුවලට ඇති ගිජුකමකට හෝ වරප්‍රසාදවලට ඇති ආශාව නිසා නොවන බව නව අමාත්‍ය ධුරයක් බාරගත්ත ද ඒ සඳහා වූ වැටුප, වරප්‍රසාද කිසිවක් තමන් භුක්ති විඳින්නේ නැති බවත්, ඒ සියලු දේ ජනතා සුබසෙත වෙනුවෙන් යොදවන බවත්  ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ගරුතර මහා සංඝරත්නයේ ද ආශිර්වාදය මධ්‍යයේ ධීවර අමාත්‍ය ධුරයෙහි සිය රාජකාරි අරඹමින් අමාත්‍යාංශයේ පැවැති උත්සවයේදීය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "අපි මේ රජයට සහය දක්වන්න තීරණය කළේ පුද්ගලික වාසි අපේක්ෂාවෙන්, තනතුරුවලට ආශාවෙන් නොවෙයි. මා දුටුවා පුවත්පත්වල කාටුන් ශිල්පීන් ඇදලා තිබෙනවා. ඇමැති ධූර දී අපේ කටවල් වසා දමා ඇති බව. මා කියන්න කැමතියි ඇමැති ධූර දුන්නට අපේ කටවල් එසේ වසා දමන්නට බැරි බව. වැරැද්දක්, අසාධාරණයක් දුටු විට අපි එයට විරුද්ධව කතා කරනවා. අපට ඇමැති ධූරවලට වඩා වටින්නේ මහජනතාව. අප ගැන තිබූ බලාපොරොත්තුව වටිනවා.
     
    අප රජයට සහය දැක්වීමට එකඟ වූයේ ජනාධිපතිතුමන්ගේ දින 100 යහ පොරොන්දු ක්‍රියාත්මක කිරීමටයි. මෙහි ප්‍රධාන කරුණු 03ක් කෙරෙහි අපි මුලින්ම අවධානය යොමු කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ජනාධිපති ධුරයේ බලය අඩු කරන්නට, එම ධුරය අවසන් කිරීම, නව මැතිවරණ ක්‍රමයක් එනම් එක් ආසනයකට වගකියන එක් මන්ත්‍රීවරයකු පත් කර මනාප පොරය නැති කිරීම තුළින් සාධාරණ මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම, ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය ආදී දින 100 වැඩපිළිවෙළ තුළින් ජනතාවට සහන ලබාදීමේ වැඩසටහන් රැසක් තුළින් ජනතාවට සෙතක් කිරීමටයි අපි රජයට සහය දැක්වීමෙන් බලාපොරොත්තු වන්නේ" යැයි ඔහු පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා, "ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමන්ගේ කාලයෙන් පසු ජාතික ආණ්ඩුවක් බිහිවුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පාලන සමයේයි. 37 වසරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ මා දුටු විශිෂ්ටතම සිදුවීම වන්නේ ජනාධිපතිතුමන් මං පෑදූ මේ ජාතික ආණ්ඩුවයි. අපි මෙතැනින් නොනැවතී රටේ දියුණුව වෙනුවෙන් තවත් ඉදිරියට යා යුතුයි. දින 100 වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට පාර්ලිමේන්තුවේ සහය අවශ්‍ය වෙනවා. ඒ ගැන කල්පනා කර ජනාධිපතිතුමන්, අගමැතිතුමන් පක්ෂ එක්ව ගෙන යන මේ සංකල්පය අගය කළ යුතු" යැයි පැවසීය.
     
    මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන අමාත්‍ය පියසේන ගමගේ, ධීවර නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න, ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහත්වරු ඇතුළු ධීවර අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සියලු ම නිලධාරීහු ද එක්වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya