ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හරිත විප්ලවයෙන් ශ්වේත විප්ලවයට යා යුතු බව කෘෂිකර්ම ඇමති අවධාරණය කරයි

    අප්‍රේල් 07, 2015
    මෙරට කෘෂිකර්මාන්තය ශ්වේත විප්ලවයක් වෙත ගමන් කරන මොහොතක අවාරයේ වගාව තුළින් අඛණ්ඩ බෝග ඵලදායීතාව, යාන්ත්‍රීකරණය සහ කෘෂිකර්මාන්තය වෙත නැඹුරු වන තරුණ පරපුරක් බිහිකිරීම වැනි ප්‍රධාන අරමුණු සාධනය කිරීම සඳහා ලෝක බැංකුවේ සහයෝගය අපේක්ෂා කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
     
    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා ලෝක බැංකුවෙන් ලබාගත හැකි තාක්ෂණික සහය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේ දී පැවැත්විණ. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
     
    ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Francoise Clottes මහත්මිය දුගී බව අවම කිරීම සහ සම්පත් බෙදීයාමේ විෂමතාව අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට සිය කැමැත්ත පළ කළා ය. විශේෂයෙන් රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ලෝක බැංකුව සමඟ එක්ව ක්‍රියා කිරීම වඩාත් යෝග්‍ය බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Francoise Clottes මහත්මිය සඳහන් කළේ ය.
     
    මෙහිදී කෘෂිකර්ම අමාත්‍යතුමා සඳහන් ක‍ළේ, කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි. 
     
    ජල සම්පාදනය කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, කුඩා වැව් 35,000ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලෝක බැංකුව හරහා කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදිය හැකි නම් එය වඩාත් වැදගත් වනු ඇත.
     
    ගොවියා සමඟ ඍජුව සම්බන්ධ වන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ද අමාත්‍යතුමා ලෝක බැංකු නියෝජිතයන් හමුවේ අවධාරණය කළේ ය.
     
    ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ලෝක බැංකු එක්ව කටයුතු කිරීම තුළින් ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර රාශියක් දියුණු කළ හැකි බැවින් මේ සඳහා තම ආයතනය දැඩි උනන්දුවකින් පසුවන බව ලෝක බැංකු නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.
     
    මෙහිදී ලෝක බැංකු නියෝජිතයන් සඳහන් කළේ, ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය සංකල්පමය පසුබිම සකස් කර ගැනීමට සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බව ය. 
     
    මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ද සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya