ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ යුතුකමක්

    අප්‍රේල් 08, 2015
    රට තුළ වර්තමානයේ සිදුව ඇති නව දේශපාලන පරිවර්තනය තේරුම් ගෙන රජයේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කරයි.
     
    අමාත්‍යවරයා මේ අදහස් ප‍්‍රකාශ කළේ, දින 100 වැඩසටහනට සමගාමී ව ගම් නගාසිටුවීමේ වැඩසටහන යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා පෙරේදා (06) ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.
     
    වඩාත් අත්‍යවශ්‍ය වූ සංවර්ධන කටයුතු කඩිනමින් නිමකිරීම සඳහා එක් ග‍්‍රාමසේවා වසමකට රුපියල් ලක්ෂ 10ක් බැගින් ප‍්‍රතිපාදන ලබා දී ඇත. සිදුකළ යුතු සංවර්ධන කාර්යයන් ප‍්‍රදේශවාසින්ගේ බහුතර කැමැත්ත මත ජන සභාවලදී ඒකමතිකව තෝරාගත් කටයුතු වීම මෙහි විශේෂත්වයයි. ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් 51 ක සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ පන්සිය දහයක් රජය ලබා දී ඇත.
     
    අතුරු මාර්ග කොන්ක‍්‍රීට් කිරීම, බෝක්කු හා කුඩා පාලම් තැනීම, කුඩා පරිමාණ අමුණු හා ඇලමාර්ග සැකසීම හා පිළිසකර කිරීම, පැති බැමි සකස් කිරීම, දහම් පාසල් හා ප‍්‍රජා ශාලාවලට අවශ්‍ය උපකරණ ගැනීම ආදී ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි. 
     
    ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම සාකච්ජාවට සහභාගී වූ ප‍්‍රාදේශීය මහජන නියෝජිතවරු, ග‍්‍රාම නිලධාරී, සමෘද්ධි, ආර්ථික සංවර්ධන, හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ ප‍්‍රජා නියේජිතවරුන් එම ඉල්ලීම් සමාලෝචනය කර එදින එකඟතාවයකට එලැඹුණි.
     
    තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, රාජ්‍ය පාලනයේ සිදුව ඇති වෙනස මීට ප‍්‍රථම සිදු නොවූවක්. මෙය ජනතාවටත් නිලධාරීන්ටත් අලුත් අත්දැකීමක්. එක් දේශපාලන ධාරාවකින් ජනාධිපතිවරයාත් අනෙක් ප‍්‍රධාන දේශපාලන පක්ෂයෙන් අගමැතිවරයාත් පත්ව සිටිනවා. අමාත්‍ය මණ්ඩලය පක්ෂ දෙකම නියෝජනය වෙනවා. මේ එකමුතු බව ජනතාවගේ යහපතට යොදා ගැනීමයි රජයේ අරමුණ. ජනතාවට සමීපව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට පක්ෂ භේදයකින් තොරව ජනතාවට සේවය කිරීමට බැඳී සිටිනවා.
     
    පසුගිය රජය ආරම්භ කළ සංවර්ධන කටයුතු නතර කිරීමක් සිදුවන්නේ නැහැ. එහෙත් ඇස්තමේන්තු පිළිබඳ යම් සොයාබැලීම් සිදුකිරීමට තියෙනවා. රජයේ මුදල්වලින් තවත් කෙනෙක් පොහොසත් කරන්නට අපේ බලාපොරොත්තුවක් නැහැ. සියලු සහන ලැබිය යුත්තේ ජනතාවටයි. ඔබ මහජන සේවය වෙනුවෙන් කටයුතු කරන පිරිසක්. තනතුරු, වරප‍්‍රසාද තාවකාලිකයි. රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඔබට තනතුරු ලැබී ඇත්තේ රාජ්‍ය සේවය පිණිස මිස අයුතු ලාභ ප‍්‍රයෝජන ගැනීමට නොවන බව සිහි තබා ගන්න.
     
    රජයේ මුදල් යනු ජනතාවගේ මුදල් වන හෙයින් කොන්ත‍්‍රත්කරුවන්ට හෝ දේශපාලනඥයන්ට අමතර වාසි නොලැබෙන පරිදි විනිවිදභාවයකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. ගම්වාසී බහුතරයකට ප‍්‍රයෝජන අත්වන පරිදි මෙම මුදල් පරිහරණය කරන ලෙස මම ඊට සම්බන්ධ වන ප‍්‍රජා නියෝජිතවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා කීය.
     
    දකුණු පළාත් සභා මන්ත‍්‍රී ජයසිරි නානායක්කාර, ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් කැළුම් විජේනායක, සහකාර ප‍්‍රාදේශිය ලේකම් චන්දිමා එදිරිමාන්න යන මහත්ම මහත්මීන්හු මේ අවස්ථාවට සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya