ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සැමට එක හා සමාන සෞඛ්‍ය සේවාවක් ලබා දිය යුතුයි

    අප්‍රේල් 23, 2015
    අප රටේ සෞඛ්‍ය සේවාවන් හි නිසි පරිදි නොලැබෙන සහ සෞඛ්‍ය සේවාවන් ප‍්‍රවර්ධනය කළ යුතු තැන් පිළිබඳ අවධානය යොමු කොට සැමට එක හා සමාන සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සහ තිරසාර මුල්‍යකරණය පිළිබඳ ආසියානු කලාපීය වැඩසටහන මහෝපකාරී වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
     
    සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සහ තිරසාර මුල්‍යකරණය පිළිබඳ ආසියානු කලාපීය වැඩසටහන පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප‍්‍රධානත්වයෙන් ගොල්ෆේස් හෝටලයේ දී ආරම්භ වූ අතර මෙම වැඩසටහන ලබන 25 දින දක්වා පැවැත්වීමට පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහනේ එක් ප‍්‍රධාන සැසිවාරයක් ඊයේ (22)  පැවැති අතර ඒ අවස්ථාවට සහභාගි වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    මෙම වැඩසටහන මඟින් ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ මුළු ලෝකයේ ම ජනතාවගේ සෞඛ්‍ය ආවරණය  (Universal Health Coverage) පිළිබඳ ව ගත යුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡා කිරීමයි.  ලෝකයේ සියලු ම ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳ ව ප‍්‍රධාන වශයෙන් සාකච්ඡාවට බදුන්වන අතර රටේ සියලු ම ජනතාවට සෞඛ්‍ය පහසුකම් සමාන ලෙස ගලායෑම පිළිබඳවත්, සෞඛ්‍ය පහසුකම් කොතරම් තිබුණත් එම සෞඛ්‍ය පහසුකම් ජනතාවට ලබාගත නොහැකි නම් එය ලබාගත යුත්තේ කෙසේ ද, රෝගීන් ප‍්‍රතිකාර ලබාගැනීම නිසා ආර්ථික වශයෙන් පරිහානියට පත්වීම වලක්වාගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳ ව ද විශේෂ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇත.
     
    රටක් වශයෙන් අප රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක සෞඛ්‍ය සේවාව එක් ජන කොටසකට පමණක් සීමා නොවිය යුතුයි. සෞඛ්‍ය සේවාව රටේ සමස්ත ජනතාවම ආවරණය විය යුතුය. සෞඛ්‍ය පහසුකම් එම ජනතාවට ලඟා විය යුතුය යන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. එය මුළු ලෝකයම පිළිගත් අදහසක් බවට අද පත්ව තිබේ. මෙම අරමුණ කරා යන ගමන මොන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න නිගමනය කිරීම සඳහා මෙම වැඩසටහන ලෝකය පුරාම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. 
     
    මෙම වැඩසටහනේ දී න්‍යායාත්මක දැනුමක් පළමුව ලබාදෙන අතර ඉන් අනතුරුව තම තමන්ගේ රටවල්වල කණ්ඩායම් එම න්‍යායාත්මක දැනුම උපයෝගී කර ගනිමින් සෞඛ්‍ය සේවාව රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්ත වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි. 
     
    මෙම වැඩසටහන සඳහා ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දුනිසීයාව, නැගෙනහිර තිමෝරය, සොලමන්ඩ් දූපත්, පැපුවානිව්ගිනියා, මියෙන්මාරය, කාම්බෝජය, ලාඕසය වැනි රටවල් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වෙති. දින 06 ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය හා බි‍්‍රතාන්‍ය යන රටවල් නියෝජනය කරමින් විශේෂඥයන් ද සහභාගාගී වනු ඇත. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක බැංකුව කටයුතු කරනු ලබන අතර අධ්‍යාපනික වැඩසටහන් මෙහෙයවීමට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්වත් මණ්ඩලයක් එක්ව සිටියි. 
     
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, අපේ රටේ සෞඛ්‍ය සේවාවන් ක‍්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කර සෞඛ්‍ය සේවාවන් නිසි පරිදි නොලැබෙන සහ එම සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කළ යුතු තැන් පිළිබඳ අවධානය යොමු කොට ඒ අවශ්‍ය ස්ථානවලට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට මෙම වැඩසටහන මහෝපකාරී වනු ඇති බව පැවසීය.
     
    අප රටේ ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තව තවත් ජනතාවට සමීප කිරීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම ලබාගත හැකි බවත් එමඟින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදිය හැකි බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.  මුළු ලෝකය ම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහනින් ලෝකයේ සියලු ම ජනතාවට එක හා සමාන සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya