ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සදාචාරාත්මක දේශපාලන වටපිටාවක් නිර්මාණ කිරිම දේශපාලනඥයන්ගේ වගකීමක්

    මැයි 28, 2015
    සදාචාරාත්මක දේශපාලන පරිසරයක් රට තුළ නිර්මණය කිරීමේ වගකීම නිතැතින් ම දේශපාලනඥයන්ට පැවරෙන බව මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ. හලිම් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා දෙල්තොට, එනසාල්ගොල්ල මධ්‍ය මහා විද්‍යාලයීය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.
     
    මහජනතාව ඔවුන්ගේ ස්වාධිපත්‍ය බලය පවරා ඇත්තේ දේශපාලනඥයන්ට  නිසා ජාති, ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන්වීම රටක් හැටියට ඉතා අභාග්‍ය සම්පන්න බවත් ඒ තුළින් සෑම ක්ෂේත්‍රයක් ම  දූෂණයට ලක් වනවා පමණක් නොව සමස්ත සමාජය ම ව්‍යාකූලත්වයට පත් වෙන බවත් අමාත්‍යවරයා කීය.
     
    පසුගිය කාලවකවානුව පුරා බෙදී වෙන් වු ජාතියක් රට තුළ නිර්මාණය කිරිමට විවිධ පුද්ගලයන් හා සංවිධාන උත්සහ කළ බවත් අපට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවුයේ එහි විපාක වශයෙන් බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා රටක ආර්ථික හා සමාජීය සංවර්ධනයට දේශපාලනික සාමය සුවිශාල රුකුලක් වන බවත් කීය.
     
    ජාතික සංහිඳියාව හා යහපාලනය රට අවශ්‍ය මොහොතක මේ රටේ බුද්ධිමත් ජනතාව ජාතියක් ලෙස  නිවැරදි තීන්දුවක් ගනු ලැබූ බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
     
    "පසුගිය එ.ජ.ප රජය ආරම්භ කරනු ලැබු බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන්  විවෘත කරනු ලැබුවේ සන්ධාන රජයයි. අපි ඒවාට බාධා කිරිම් හෝ සහභාගිවීම් කළේ නැහැ. අද කටුගස්තොට ඉදිකොට තිබෙන පාලම පැවැති එජාප රජයේ මන්ත්‍රිවරුන් විදියට මමත් තිස්ත අත්තනායක මැතිතුමාත් එකතුවයි මුල්ගල තැබුවේ. එහි ඉදිකිරිම් සම්පූර්ණ කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගත්තේත් අපේ රජයයි. හැම ආණ්ඩුවක් ම කරනු ලබන සංවර්ධන ක්‍රියාවලියන්හි ප්‍රතිඵලය මහජනතාවටයි".
     
    "අද සිසු අයිතියට පත් කරනු ලැබු  තාක්ෂණික විද්‍යාගාරයත් එවැන්නක්. මේ පාසලට හිමි වු‍ණේ තාක්ෂණ විද්‍යගාරයක් පමණක් ම නොවෙයි. එය රටේ අනාගතය වෙනුවෙන් කරනු ලැබු සුවිශාල ආයෝජනයක් ලෙසත් මා දකිනවා. මේවා කාගේවත් දේශපාලන බූදල් නොවන බව සියලු ම දේශපාලනඥයන් මතකයේ තබා ගත යුතුයි.  මේ විද්‍යාලය ඉතා උසස් තත්ත්වයකට ගෙන ඒමට එවකට සිටි බොහෝ දෙනා උත්සාහ කළා. අද වන විට අඩුපාඩු රැසක් නිර්මාණය වී තිබෙනවා". 
     
    අධ්‍යාපනික වශයෙන් සිසුන් මුහුණ පා ඇති ගැටලු නිරාකරණය කරදීමට කඩිනමින් පියවර  ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya