ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලංකාව වැනි රටක යම් නිර්මාණයක් දියුණු රටක නිපැයුම් වගේ ලක්ෂවාරයක් වටිනවා

    ජූනි 08, 2015
    වෙනත් රටවල කෙනෙක් යමක් නිපදවනවා නම් තවත් දහස් ගණනක් එයට උදව් කරනවා. ඒක තමයි ජාතිකත්වය කියන්නේ. අපේ රටේ තිබෙන්නේ කාටහරි මොනවා හරි දෙයක් දෙනවා නම් ඒකට විරුද්ද වන ජාතිකත්වයක්. මේ රටේ ජාතිකත්වයක් නැහැ. ඒ බොරු, තිබෙන්නේ නිකන් අනුන්ට වෛර කරන ජාතිවාදයක් විතරයි. ඒකෙන් තමයි මේ රට විනාශ වෙලා තිබෙන්නේ. එහෙව් රටක යම් නිර්මාණයක් දියුණු රටක නිපැයුම් වගේ ලක්ෂවාරයක් වටිනවා යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම් තරගාවලියේ දී දියවැඩියා රෝගයෙන් ඇති විය හැකි තුවාල තත්ත්වයන් පෙරාතුව හඳුනාගැනීමේ උපකරණය වෙනුවෙන් සහ පර්යන්ත ස්නායු උත්තේජක උපකරණය වෙනුවෙන් රන් සම්මානයෙන් පිදුම් ලැබූ වෛද්‍යවරුන් සහ නේපාලයේ භූ කම්පනයෙන් ආපදාවට ලක් වූ ජනතාවට වෛද්‍ය ප‍්‍රතිකාර සැපයීම වෙනුවෙන් සහභාගී වූ වෛද්‍යවරුන්ට උපහාර පිදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.  
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයාටත් වඩා ශ‍්‍රී ලාංකිකයෙකු වශයෙන් තමුන්නාන්සේලා මේ ලබාගත් ජයග‍්‍රහණය පිළිබඳ ව මම සතුටු වෙනවා. ජාත්‍යන්තර සැසිවාරයකදී මෙවැනි ජයග‍්‍රහණයක් ලබාගන්නවා කියන්නේ බොහොම අපහසු දෙයක්. මම සහභාගීවුණු නොයෙකුත් ජාත්‍යන්තර වැඩසටහන්වල දී දැකලා තිබෙනවා වෙනත් රටවල මෙවැනි පුද්ගලයින් සම්මාන ලබාගන්නවා. නමුත් මට තාම බැරිවුණා අපේ මාතෘ භූමියේ කිසිම කෙනෙක් එවැනි සම්මානයක් ලබාගන්නවා බලන්න. ඔබලා ලබපු මෙම ජයග‍්‍රහණ පිළිබඳ ව මම ඉතාමත්ම සතුටු වෙනවා.
     
     තමුන්නාන්සේලා නිපැයුවේ ඉතා ම කුඩා දෙයක් වුවත් ඒක ලෝකයටත් වඩා, ලෝක භූමියට වඩා විශාලයි. මෙහෙම දෙයක් කරන්න සිතට ආපු සිතුවිල්ල ඉතා වැදගත්. නව නිර්මාණයක් නව ලෝකයට දායාද කරනවා කියන එක ලේසි දෙයක් නොවෙයි. ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, කොරියාවේ, චීනයේ ඕනෑ තරම් නව නිපැයුම් හදන්න පුළුවන්කම තියෙද්දී එයාලට බැරි වුණ දෙයක් තමයි, ඔබ අද මේ පුංචි රටෙව් හදලා තිබෙන්නේ. ඒකයි මේකේ වටිනාකම. අඩු පහසුකම් සහිත ව කෙනෙක් දෙයක් කරනවාට විරුද්ධව හැම කෙනෙක්ම එරෙහි වන රටක මෙවැනි දෙයක් නිපදවීම ඉතාම වැදගත්. මින් ඉදිරියට මෙවැනි ගවේෂණ සිදු කරන්න අවශ්‍ය නම්  ඒ සියලු ම පහසුකම් ලබා දෙන්න මම සූදානම් යැයි ද අමාත්‍යවරයා කීය. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, රාජ්‍ය ලේකම් පර්ල් වීරසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය ජාකොබ් කුමාරසන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya