ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    Spray Cola නීති විරෝධීයි - අලෙවිකරන තැන්වලින් අත් අඩංගුවට ගන්නැයි ආහාර කමිටුවට උපදෙස්

    ජූනි 29, 2015
    මේ වන විට පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් පාසල් හා වෙනත් ස්ථාන ඉදිරිපිට අලෙවිකරන Spray Cola නම් පැණි බීම විශේෂයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
     
    මෙම බීම වර්ගය පානය කිරීම තුළින් මත්වීමක් සිදුවන බවත් එම නිසාම මෙය මත්ද්‍රව්‍යයක් වශයෙන් කිසියම් රසායනික වර්ගයක් වැඩිපුර මිශ‍්‍රකර නිපදවා ඇති බවටත් සැකකරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.  
     
    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි දැනට මෙම පැණි බීම වර්ගය වෙළෙඳපොළේ අලෙවි කරන්නේ නම් වහාම පොලිසිය සමඟ එක්ව ඒවා අත් අඩංගුවට ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආහාර කමිටුවට මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පසුගියදා උපදෙස් ලබා දෙන ලදී.
     
    එමෙන්ම බීම වර්ගයෙන් සාම්පල 03 ක් ලබා ගෙන ඇති අතර එම බීම වර්ගයේ අන්තර්ගතව ඇත්තේ කුමන රසායනිකයක් ද යන්න හා ඉන් සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද කරුණු විමසීම සඳහා අදාළ සම්පල රජයේ රස පරීක්ෂකවරයාට හා කාර්මික තාක්ෂණික ආයතනයට ලබාදීමට කටයුතු යොදා ඇත.
     
    ආනයනික පැනිබීමක් වන මෙය දැනට ආනයනය කර වරායේ රඳවා ඇත්නම් වහාම ඒවාට මුද්‍රා තබන ලෙසත් , වෙළඳපලට මුදා නොහරින ලෙසත් උපදෙස් දී ඇත. මෙම බීම වර්ගය සම්පූර්ණයෙන්ම නීති විරෝධි වන අතර පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම සඳහා ව්‍යාපාරිකයින් විවිධ නිෂ්පාදන ඔස්සේ උත්සාහ දරමින් සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
     
    එමෙන්ම මෙම පැණි බීම වර්ගය මෙරටට ගෙන්වන්නේ කවරෙක් විසින්ද යන්නත් සොයා බලන බවත්, විශේෂයෙන් මව්පියන් තම දරුවන් කරන කටයුතු කෙරෙහි මෙන් ම විශේෂයෙන් ඔවුන් අනුභව කරන කෑම බීම,  ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව ද දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
     
    මෙම බීම වර්ගය මුළුමනින්ම නීති විරෝධී වන නිසා ඒවා පරිහරණය මෙන්ම අලෙවි කිරීම ද නීති විරෝධී බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
      
    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya