ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයවැයෙන් පොරොන්දු වූ පරිදි කුඩා තේ වතු හිමියන්ට සහන

    අගෝස්තු 14, 2015
    කුඩා තේ වතු හිමියන්ගේ තේවලට රුපියල් 80.00ක සහතික මිලක් ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කරනු ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඒ අනුව කුඩා තේ වතු හිමියන් ලක්ෂ හතරකට පමණ සෙත සැලසෙන පරිදි තේ කිලෝවක් රුපියල් 80.00ක සහතික මිලට මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 5438ක මුදලක් නිදහස් කර ඇත. ප්‍රථම වතාවට ආරම්භ කරන ලද තේ කිලෝවක් සඳහා රුපියල් 80.00ක සහතික මිලක් ගෙවීම වෙනුවෙන් පසුගිය අයවැය මඟින් රුපියල් මිලියන 6300 ක් වෙන් කරන ලදී.
     

    දිවයින පුරා පිහිටි තේ කර්මාන්තශාලා 712 මඟින් මිලදී ගනු ලබන තේ දළුවල ගුණාත්මකභාවය අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලබාදෙන සහන මිල අඩු වැඩි වේ. කෙසේ වෙතත් තේ කිලෝවක් සඳහා ගෙවන රුපියල් 80.00 සහන මිලෙහි කිසිදු වෙනසක් නොමැතිව මෙය දැන් දිවයින පුරා ක්‍රියාත්මක වේ. තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලාවල පෙර මාසයේ මිල සාමාන්‍ය අනුව තේ මණ්ඩලය විසින් සහතික මිලට අදාළ ගෙවීම් ප්‍රතිපූර්ණය කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 6300ක් වෙන් කර ඇත.

     
    අක්කර 50ට අඩු සුළු පරිමාණ රබර් වතු හිමියන්ගෙන් රබර් මිලදී ගැනීමේදී අංක 01 වර්ගයේ රබර් කිලෝවක්  සඳහා රුපියල් 350.00ක සහතික මිලක් ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 2300 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර තිබේ. ලංකාවේ සමස්ත රබර් නිෂ්පාදනයෙන් 75% එනම් මෙට්රික් ටොන් 6000ක් පමණ නිෂ්පාදනය කරනු ලබනුයේ කුඩා රබර් හිමියන් විසිනි. පෙර පැවති ක්‍රමය අනුව, විකිණීමෙන් පසුව සහතික මිල ලබා ගැනීම සඳහා කුඩා රබර් වතු හිමියන්ට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙ කාර්යාලවලට යාමට සිදුවිය. මෙම කරදරකාරී ක්‍රමවේදය රජය වෙනස් කර තිබේ. නව රජය මඟින් හඳුන්වා දී ඇති නව ක්‍රමය යටතේ රබර් මිලදී ගන්නා අවස්ථාවේදීම රබර් වෙළෙඳ නියෝජිතයන් විසින් රුපියල් 350.00ක සහතික මිලට ලබා දෙන බැවින් කුඩා වතුහිමියන්ට මෙතෙක් තිබූ දුෂ්කරතා ඉවත් කරන ලදී. මෙසේ රබර්වලට රුපියල් 350.00ක සහතික මිලක් ගෙවීම සඳහා රජයේ අතුරු අයවැය මඟින් රුපියල් මිලියන 3600ක් වෙන් කර ඇත.

     
    රජයේ අතුරු අයවැය මඟින් යෝජිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 15% ක ඉහළ පොළි අනුපාතයක් ලබා දීම වී, තේ, රබර් හා දියර කිරිවලට සහතික මිලක් ලබාදීම සහ ගොවි ණය 50%කින් කපා හැරීම ඇතුළු අනෙකුත් සහනාධාර ලබාදීම සඳහා රුපියල් මිලියන 15,700ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙතින් අදාළ අංශ වෙත මේ වන විට නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පැවසීය.

    2015 යල කන්නයේ වී මෙට්රික් ටොන් 120,000ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ ඇපකරයක් මත රුපියල් මිලියන 6000ක පොරොන්දු ණයක් ලබා දී තිබේ. ඒ අනුව ලංකා බැංකුව මඟින් රුපියල් මිලියන 4000ක් හා මහජන බැංකුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇත.

    මෙයට අමතරව වී මිලදී ගැනීමේ නඩත්තු වියදම් සඳහා රුපියල් මිලියන 312ක් වෙන් කර ඇති අතර එයින් රුපියල් මිලියන 30ක් ආරම්භක වියදම් වශයෙන් වී අ‍ලෙවි මණ්ඩලයට ලබා දී ඇත. 2014 / 2015 මහ කන්නයේදී මිලදී ගන්නා ලද වී මෙට්රික් ටොන් 160,000ක් දැන් ගබඩාවල පවතී. වී මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම වී තොගය වෙළෙඳපොළට නිකුත් කිරීම ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇත. 


    ජනතාව විසින් උකස් කරන ලදුව අක්‍රමික ගණයේ තත්ත්වයට පත්ව ඇති රුපියල් දෙලක්ෂයට අඩු වටිනාකම් ඇති රන් භාණ්ඩ උකසෙන් බේරාගැනීම සඳහා ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ලැබුවේද ප්‍රථම වතාවටයි. රජයට අයත් බැංකු හයක උකස් කර ඇති එවන් රන් භාණ්ඩ බේරාගැනීමේදී තිබෙන අධික පොළිය 12% දක්වා අඩුකර නිදහස් කරනු ලැබේ.
     

    පසුගිය කාලයන් හි වැඩි පොළියට උකස් කර තිබූ භාණ්ඩ ප්‍රතිලාභීන් 36,000 දෙනා විසින් මෙසේ සහන ක්‍රමය යටතේ රජයේ බැංකුවලින් මෙතෙක් බේරාගෙන ඇත. මේ සඳහා එම බැංකුවලට රුපියල් මිලියන 93ක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවා තිබේ. 
     

    ගොවි ණය සියයට 50% කින් කපා හැරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනුයේ ද ප්‍රථම වතාවටයි. කාලගුණ විපර්යාස නිසා ඇති වූ වගා පාළුව හේතුවෙන් පාඩු ලැබූ ගොවීන්ට මෙතෙක් බලයේ සිටි රජයන් විසින් කලින් කල ණය ප්‍රතිලේඛන ගතකොට, ගෙවීමේ කාලය දීර්ඝ කළා විනා ණය කපාහැරීමක් සිදු කර නොමැත. ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ලංකා පුත්‍ර බැංකුවවලින් ලබාගෙන තිබූ ලක්ෂයට අඩු ගොවිණය 50% කින් කපා හැරීම වෙනුවෙන් රුපියල් මිලියන 780ක් අදාළ බැංකු වෙත නිදහස් කරන ලදී. 
     

    සාමා‍න්‍යයෙන් බෝග වර්ග 32ක් සඳහා මාස 06 සිට 09 දක්වා කාලසීමාවකට කෙටි කාලීන ගොවි ණය රජයේ බැංකුවලින් නිකුත් කෙරේ. මෙසේ කෙටි කාලීන ගොවි ණය ලබා ගත් කුඩා ගොවීන් 58,033 දෙනෙකුගේ වගා ණය මේ වනවිට 50%කින් කපාහැර තිබේ. මේ සඳහා නව රජයේ අයවැය මඟින් රුපියල් මිලියන 2500ක් වෙන් කරන ලදී.
     

    මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරු කිරීමේ තැන්පතු සඳහා වැඩි කරන ලද 15% පොළී සහනය ගෙවීම සඳහා ද රුපියල් මිලියන 1067ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත නිදහස් කරන ලදී. සාමාන්‍යයෙන් උද්ධමනය අඩුවීමත් සමඟ මේ දිනවල ඉතුරු කිරීමේ තැන්පතු සඳහා ගෙවනු ලබනුයේ 6%ක පමණ පොළී අනුපාතිකයකි. එහෙත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් දසලක්ෂය දක්වා වූ තැන්පතු සඳහා සියයට 15% ගෙවනු ලැබේ. ඒ අනුව 9%ක වෙනසට අදාළ මුදල රජය මඟින් ගෙවනු ලබයි. ඕනෑම බැංකුවක තිබෙන ස්ථාවර තැන්පතු සඳහා මෙම ඉහළ පොළී අනුපාතය ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 4000ක් මෙම වසරට වෙන් කර තිබේ.
     

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම සහන ක්‍රමය යටතේ මෙතෙක් ලංකාවේ වාණිජ බැංකු 27ක ගිණුම් පවත්වාගෙන යනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 140,957 දෙනෙකුට මෙයින් සෙත සැලසී ඇත. බැංකුවල නියමිත පොළි අනුපාතයට අමතරව 15% දක්වා ගෙවනු ලබන පොළියේ වෙනස සහනයක් ලෙස වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොළියට එකතුකරනු ලැබේ. මෙසේ වැඩි කරන ලද පොළි ගෙවීම සඳහා 2015 වසරේ මුල් කාර්තුවට පමණක් රජය විසින් රුපියල් මිලියන 1067ක මුදලක් බැංකු වෙත නිකුත් කර ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya