ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේදී ගුරුවරු 500 බැගින් වාර්ෂිකව බදවා ගැනීමට මධ්‍යම පළාත් සභාවේ අවධානය

    ඔක්තෝබර් 07, 2015
     
    මධ්‍යම පළාතේ පවත්නා ගුරු පුරප්පාඩු පිරවීම සදහා ඉදිරියේදී වාර්ෂිකව ගුරුවරු 500 බැගින් බදවා ගැනීමට කටයුතු සැළසුම් කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ඊයේ පැවති ලෝක ගුරු දිනය සහ ශ්‍රී ලංකාවේ ගුරු උපහාර පිදීමේ දින නිමිත්තෙන් ඒ පිළිබදව මධ්‍යම පළාත් සභාව දැනුවත් කරමිනි. 
    දැනට මධ්‍යම පළාතේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් සදහා විශේෂත්වයක් ලබා දී කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා මෙවර යෙදුනු ගුරු දිනයේදී මධ්‍යම පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම සදහා අලුතින් ගුරු පත්වීම් 201 ක් ලබා දුන් බවත්, පසුගියදා රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලැබූ රාජ්‍ය සේවකයන්ගෙන් ගුරු පත්වීම් ලබා ගැනීමට කැමැත්තක් දැක්වූ පිරිසක් ඒ සදහා තෝරාගත් බවත් පැවසීය. 
     
    එම ගුරුවරු ස්ව කැමැත්තෙන්ම පළාතේ දුෂ්කර පාසල්වල සේවය කිරීමට එක් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ‍ඒ හේතුවෙන් වසර ගණනාවක් දුෂ්කර පළාත්වල සේවය කළ ගුරුවරු රැසකට තමන් අභිමත පරිදි ස්ථාන මාරු ලබා ගැනීමට හැකි වූ බවද පෙන්වා දෙන ලදී. ලෝක ගුරු දිනය සමරන මොහොතේ එම දෙපිරිසගේම අභිමතයන් ජය ගැනීමට හැකි වීම සතුටට කරුණක් බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී තව දුරටත් පෙන්වා දෙන ලදී.
     
    මධ්‍යම පළාතේ ඇතැම් පාසල් වලට පළමු ශ්‍රේණිය සදහා තවත් පන්තියක් ඇතුලත් කිරීම සදහා ලැබී ඇති ඉල්ලීම් ගැනද කරුණු දැක්වූ සරත් ඒකනායක මහතා ඒ පිළිබද මේ වන විට අධ්‍යනය කරමින් සිටින බවද පෙන්වා දෙන ලදී. පළමු ශ්‍රේණියට නව පන්තියක් ඇතුලත් කළ පසු එය අනිකුත් වසර දක්වාම පවත්වාගෙන යා යුතු බැවින් ඒ පිළිබද පාසල් සතු හැකියාවන් පිළිබද ගැඹුරින් විමර්ශනය කොට මෙම තීරණය ලබා ගත යුතු බවද ‍පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය පැවසුවේ ලෝක ගුරු දිනය සමරන මෙම දිනයේදී ගුරුවරුන් සදහා නිසි තැන ලබා දීම කෙරෙහිද විමසිලිමත්විය යුතු බවයි.  ඇතැම් ගුරුවරු කෙතරම් සුදුසුකම් සපුරා තිබුනත් තම උසස්වීම් ආදිය නොලැබීම නිසා මානසික පීඩා වලින් පෙලෙන බවද පෙන්වා දෙන ලදී. එමෙන්ම ස්ථාන මාරු ලබා දීමේදී හැකිතාක් සාධාරණ විනිවිද‍ පෙනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ඇති වැදගත්කම ගැනද ඇය පෙන්වා දෙන ලදී.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya