ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ කිරි නිෂ්පාදන ගම්මාන පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 17, 2015
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි හුදකලා ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත ව කිරි නිෂ්පාදන ගම්මාන පිහිටුවීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
     
    මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ හා රඹුක්කන මැතිවරණ කොට්ඨාස ඉලක්ක කර ගනිමින් එවැනි කිරි නිෂ්පාදන ගම්මාන 10ක් පිහිටුවා ඇති අතර ඒ සඳහා උසස් තත්ත්වයේ ජර්සි, ජර්සි අයිසේයර්, ප්‍රිසියන්, ප්‍රිසියන් සහිවාර් සහ AFS වර්ගයේ ගවයන් 200ක් එම ගම්මානවල කිරි ගොවියන් සඳහා ප්‍රදානය කර ඇත.
     
    මේ සඳහා සබරගමුව පළාත් සභාව වැය කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ සියයකි.
     
    මෙම ව්‍යාපෘතිය විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා සහ කිරිගොවි ප්‍රජාව ඒකරාශී කිරීමේ අරමුණින් කිරි නිෂ්පාදන සමූපකාර සමිති 10ක් ද අදාල කිරිගොවි ගම්මාන ආශ්‍රිතව පිහිටුවීමට පළාත් සභාව කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ පමණක් මාසිකව කිරි ලීටර් 15,000ක් පමණ දේශීය කිරි නිෂ්පාදනයට එක් කිරීමට සමත්වී ඇති අතර, ඒ යටතේ කිරිගොවි ගම්මාන දහයේ කිරි ගොවියෝ මාසිකව රුපියල් ලක්ෂ 12ක් පමණ ආදායමක් උපයා ගනිති.
     
    තවද මෙම ව්‍යාපෘතිය යටතේ කුකුල්පනේ සහ බෙලිගල කිරි සමූපකාර සමිති දෙක විසින් මේ වන විටත් යෝගට් නිෂ්පාදන කටයුතු ද සිදු කරයි. මෙම ව්‍යාපෘතිය මගින් කිරිගොවින් සඳහා ලබා දී ඇති සෑම ගවයෙකුම සමූපකාර රක්ෂණ සමාගම හරහා පූර්ණ රක්ෂණය සිදු කර ඇත.
     
    කාබනික පොහොර නිෂ්පාදන ඒකක ද මේ යටතේ  ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමට  කටයුතු යොදා ඇත. රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයේ හුදකලා ගම්මාන ආශ්‍රිතව තවත් මෙවැනි කිරිගොවි ගම්මාන රැසක් ආරම්භ කිරීමට සබරගමුව පළාත් සභාව විසින් මේ වන විටත් කටයුතු යොදා ඇත.
     
    2020 දී රජය විසින් සපුරාලීමට අපේක්ෂිත දේශීය කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ව සබරගමුව පළාත් සභාව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. මෙම කිරි ගොවි ගම්මානවල ප්‍රගතිය සොයා බැලීමට සහ එය පළාත පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් පසුගියදා විශේෂ රැස්වීමක් සබරගමුව පළාත් සභා  ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ප්‍රධාන ලේකම් හේරත්.පී. කුලරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු වන කපිල පෙරේරා, පරාක්‍රම පියසේන, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සුනිල් ප්‍රේමචන්ද්‍ර සහකාර අධ්‍යක්ෂකවරුන් වන එම්.බී.එස්.එන්. කුමාරගේ, අනුරුද්ධ බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya