ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දැයට කිරුළෙන් වෙන් කළ මුදල් වලට සිදු වූ දේ ගැන සෙවිය යුතුයි-අමාත්‍ය දයා ගමගේ

    ජනවාරි 22, 2016

    අම්පාර බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැයට කිරුළ වැඩසටහන මගින් වෙන් කළ මුදල්වලට සිදු වූ දේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය සහ අම්පාර (දිගාමඩුල්ල) දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති දයා ගමගේ මහතා පවසයි.

     

    අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති පළමු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මැතිතුමා මෙසේ ද සඳහන් කළේය.

     

    "අද වන විට අම්පාර බස් නැවතුම්පොළ පවතින්නේ මහජන ප්‍රයෝජනයට ඉතාම නුසුදුසු තත්ත්වයකය. මෙම බස් නැවතුම්පොළ වහාම ප්‍රතිසංස්කරණය කළ යුතුය. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහාය ලබා ගත යුතුයි. කෙසේ නමුත්, මෙම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බව පවසමින් අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනය පැවති අවස්ථාවේ වෙන් කළ මුදල් වලට අත් වූ ඉරණම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම ද අවශ්‍ය වේ."

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මැතිතුමා කියා සිටියේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල දී සහ ජනතා අවශ්‍යතාවන් සැපිරීමේ දී මුහුණ දීමට සිදුවන විවිධ ගැටලූ නිරාකරණය කිරීම සඳහා ද දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව මැදිහත් විය යුතු බවයි.

     

    "ඇතැම් නිළධාරීන්ගේ වැරදි නිසා ජනතාව වනාන්තරයට ගිහිං ඒ වනාන්තර අත්පත් කර ගන්න බව අපි දන්නවා. ඔවුන් ඊට පස්සේ ඒ කැලෑ විනාස කරනවා. මේවා නැවැත්වීම සඳහා නිළධාරීන්ගේ සහායෙන් වැඩසටහනක් දියත් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට හිතෙනවා වන සංරක්ෂණ නිළධාරීන් රකින්නේ පාර දෙපැත්තේ තියන කැලේ විතරයි ද කියලා. මම මෙහෙම කියන්නේ, සමහර තැන්වල මම දැකලා තියනවා කැලේ ඇතුළේ විශාල වශයෙන් විනාස කරලා තියනවා. නමුත්, මට තොරතුරක් ලැබුණා ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කරන්නත් කළිං ජනතාව පදිංචි වෙලා හිටපු පදියතලාවේ ඈත දුෂ්කර ගමකට විදුලිය ගන්න ඕන වෙලා පාර දෙපැත්තේ තිබුණු තේක්ක ගස් වගයක් කපපු ජනතාවට විරුද්ධව කටයුතු කරනවා කියලා. ඒ ජනතාව එක දර කොටුවක්වත් ගෙදර අරගෙන ගිහිල්ලා නෑ. ඉතිං, මේ වගේ තත්ත්වයන් ගැන අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි."

     

    මේ අතර, පසුගිය කන්නයේ දී රජය විසින් මිල දී ගත් වී තොග ඉතිරි සති දෙක තුන ඇතුළත අළෙවි කිරීමට පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. පසුගිය රජය සමයේ විදේශයෙන් ආනයනය කරනු ලැබූ සහල් තොග මේ වන විටත් ගබඩා තුළ පැවතීම වත්මන් රජය මුහුණ දී ඇති ප්‍රධාන ගැටළුවක් වේ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya