ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දී

    මාර්තු 30, 2016
    විසි එක්වන සියවසේ නිහඬ මාරයා වශයෙන් සලකන බෝනොවන රෝග පාලනය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර හා ව්‍යායාම ඉවහල් කරගත හැකි ආකාරය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    වෛද්‍ය එන්.එච්.උබේසේකර මහත්මිය විසින් මෙහි සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
    හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, පිළිකා, අංශභාගය හා ගැස්ට්‍රයිටීස් වැනි බෝනොවන රෝග ගණනාවක් පවතින අතර වර්තමාන කාර්ය බහුල ජීවන රටාව හේතුවෙන් විශේෂයෙන් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන්ට මෙම රෝග වැළඳීමේ අවදානම වැඩි බව මෙහි දී අවධාරණය කෙරිණි.
     
    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මියයන ජනගහනයෙන් 65% කට අධික ප්‍රමාණයක් බෝනොවන රෝග හේතුවෙන් මියයන බව ද වෛද්‍යවරිය පැවසුවා ය.
     
    බෝනොවන රෝග වැළඳීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කාරණා කිහිපයකි. වැරදි ආහාර රටාව, ව්‍යායාම් අඩුකම, වයස් ගතවීම, දුම් පානය, මත් ද්‍රව්‍ය භාවිතය, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර අනුභවය, අධික ලුණු හා අධික සීනි සහිත ආහාර අනුභවය, ක්ෂණික ආහාර අනුභවය සහ මානසික ආතතිය යනාදිය ඒ අතර වේ.
     
    වයස අවුරුදු හතලිහ ඉක්ම වූ සියලු දෙනා තම ශරීර ස්කන්ධ දර්ශකය පිළිබඳව සැලකිලිමත් වී එය නියමාකාරයෙන් නොපවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂණ මගින් එයට හේතු සොයා බලා යම් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් හෝ ඒ සඳහා අවදානමක් ඇත්නම් එයට පිළියම් යෙදිය යුතු ය.
     
    අද ව්‍යායාම වෙනුවෙන් වැය කරන කාලය, සෞඛ්‍යමත් ආහාර රටාව අනාගතයට කරන ඉතිරියක් බව පැවසූ ඇය කාර්යාලයේ දී වුව ද පහසුවෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක් ද පෙන්වා දෙන ලදි.
     
    දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි මෙවැනි වැඩමුළු මාලාවක් පැවැත්වීමට දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කොට තිබේ. බෝනොවන රෝග පාලනයට රජයේ නිලධාරීන්ට කෙරෙන සිහි කැඳවීමක් වශයෙන් තෝරාගත් රාජ්‍ය ආයතනවල මෙය සංවිධානය කෙරේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya