ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමට වැඩසටහන් රැසක්

    මැයි 24, 2016
    මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් පුරන් කුඹුරුවල වෙනත් බෝග වගා කිරීමට විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. ඒ අනුව අදාළ පුරන් කුඹුරුවල අල වර්ග, පළා වර්ග සහ ඉඟුරු වගාව හඳුන්වාදීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දොපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය සැලසුම් කොට තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා මෙම වසරේදී රුපියල් විසිපන් ලක්ෂයක මුදලක් වෙන් කොට තිබේ.  ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක මෙම ව්‍යාපෘතිය දියත් කරන අතර ඒ සඳහා හෙක්ටයාර් 27ක ප්‍රමාණයක් තෝරා ගෙන තිබේ. මෙම වැඩසටහනේ සාර්ථක අසාර්ථකත්වය අනුව ඉදිරියේදී වෙනත් බෝග වර්ග හඳුන්වාදෙමින් සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද මෙම ආදර්ශ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
     
    මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය මගින් පුරන් කුඹුරු අස්වැද්දීමට දියත් කරන මෙම වැඩසටහනට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවද පුරන්කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක  කරමින් පවතී. එම වැඩසටහන යටතේ  මහනුවර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 1035ක නැවත වී වගා කිරීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ මේ වන විට අක්කර 40ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වගා කොට තිබේ.

     
    මීට අමතරව රජය මගින් ක්‍රියාත්මක කරන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ය‍ටතේද කාබනික පොහොර භාවිත කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරුවල දේශීය වී වර්ග වගා කිරීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ඒ ය‍ටතේ එක් ගොවිජනසේවා බල ප්‍රදේශයකින් පුරන් කුඹුරු අක්කරය බැගින් තෝරාගෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන 45 යටතේ තවත් පුරන් කුඹුරු අක්කර 45ක් නැවත අස්වැද්දීමට කටයුතු යොදා තිබේ. මඩතවාලු, සුවඳැල්, රන්කහවනු, සහ මුරුංගකාය වැනි දේශීය වී වර්ග මෙහිදී වගා කිරීමට නිර්දේශ කර තිබේ.


    මෙම වැඩසහන් සියල්ල එක් වූ පසු මහනුවර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරුවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වසර තුළ අස්වැද්දීමට හැකියාව ලැබෙන බව පෙන්වා දුන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා කුමන රජයේ ආයතනයකින් හෝ දියත් කරන මෙවැනි වැඩසටහන් ඒකබද්ධව ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබා දිය හැකි බව පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya