ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෘෂි රසායනික භාවිතය ගැන පුහුණු වැඩමුළු රැසක් කුරුණෑගලදී

    ජූනි 02, 2016

    මෙරට කෘෂිකර්මාන්තය මුහුණදෙන බරපතල අභියෝගයක් වන කෘෂි රසායන භාවිතය තුළින් මතුව තිබෙන සෞඛ්‍ය හා පාරිසරික ගැටලු පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මේ වන විට ආරම්භ කර තිබෙන අතර ලබන 16 වනදා දක්වා කුරුණෑගල ගොවිජන මධ්‍යස්ථානවලදී එක් දින පුහුණු වැඩසටහන් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ කෘෂි රසායන භාවිතය තුළින් ජනිත වන සෞඛ්‍යමය ගැටලු අවම කිරීම තුළින් නිරෝගිමත් පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.

     

    මෙහිදී වර්තමාන කෘෂි කර්මාන්තය මුහුණ දෙන ගැටලු හා අභියෝග, මානව සෞඛ්‍ය කෙරෙහි කෘෂි රසායනවල බලපෑම, බෝග විශේෂිත කෘෂි රසායන යෙදවුම් භාවිතය සහ තිරසර කෘෂි කාර්මික සංවර්ධනයක් සඳහා ගොවි සංවිධාන වල කාර්යභාරය යන කරුණු පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගය පැතිර පවත්නා ප්‍රදේශවල ගොවීන් හා ගොවි සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමට නියමිතය.

     


    සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවේ පුහුණු ක්‍රම ලෙස දේශන, සාකච්ඡා, බුද්ධි කලම්භන, කණ්ඩායම් අභ්‍යාස හා වීඩියෝ දර්ශන භාවිත කිරීමට නියමිතය.

     

    ඒ අනුව අද (02) නාගොල්ලාගම, හෙට (03) රඹේ, 7 වැනිදා කොටවෙහෙර, 8 වැනිදා මහගිරිඋල්ල, 9 වැනිදා රස්නායකපුර, 10 වැනිදා නිකවැරටිය, 14 වැනිදා කොබෙයිගනේ,   15 වැනිදා දිවුල්ලෑගොඩ, 16 වැනිදා මොරගොල්ලාගම යනාදී වශයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වය ඇතිව මෙය සංවිධානය කරනු ලබන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවයි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya