ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුව පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 4700ක්

    ජූලි 29, 2016
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි පාසල් පද්ධතිවල භෞතික සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 4700ක් ලබා දී ඇතැයි පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් ක‍ළේය.
     
    මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා රත්නපුර මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති පළාතේ විද්‍යාලවල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ය.
     
    ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සබරගමුව පාසැල් සංවර්ධනය සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මෙම වර්ෂය සඳහා ලබා දී ඇතැයි ද එම මුදල් භාවිතා කර පළාතේ පාසැල් පද්ධතිවල පංති කාමර, විද්‍යාගාර, ක්‍රීඩා පිටි, ආරක්ෂිත වැටවල්, ගුරු හා විදුහල්පති නේවාසිකාගාර සහ විවේකාගාර ඇතුළු භෞතික සම්පත් රැසක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද මහීපාල හේරත් මහතා මෙහිදී පැවසීය.
     
    ඒ අනුව දැනට පාසැල් පද්ධති ආශ්‍රිතව භෞතික සම්පත් සම්බන්ධයෙන් පවතින ගැටළුවලින් 99%ක් අවසන් කිරීමට හැකි වෙතැයිද හෙතෙම සඳහන් කළේය.
     
    සබරගමුව පළාතේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් මෙලසෙ විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු රජයට ද මහීපාල හේරත් මහතා මෙහිදී සිය ස්තූතිය පළ කළේය.
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සමස්ත පාසැල් සංඛ්‍යාව 1125 වන අතර සබරගමුව පළාත් සභාව මගින් ඉන් පාසැල් 1097 පාලනය කරයි. සෙසු පාසැල් 28 ජාතික පාසැල් වේ.
     
    ගුරුභවතුන් 24,000 පමණ එම පාසැල් පද්ධතිවල සේවය කරන අතර ඉන් ගුරුභවතුන් 20,800 පමණ පළාත් පාසැල්වල සේවය කරති. සෙසු ගුරුභවතුන් ජාතික පාසැල්වලට අයත්ය. පළාතේ සමස්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑපන්දහසකි.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න, අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. කුරුප්පුආරච්චි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)ඒ.ඩී.කේ.ඒ. විරරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya