ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රුහුණු සංවර්ධන කලාපය 07දා ඇරඹේ

    ජනවාරි 05, 2017
    රුහුණු සංවර්ධන කාලපයේ එළැඹෙන 07දා ආරම්භ කරන බව උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    දකුණු පළාතේ ඇතිකරන රුහුණු සංවර්ධන කළාපය තුළ කර්මාන්ත ශාලා ඉදිකොට එම නිෂ්පාදන අපනයනය කිරීම හරහා විදේශ විනිමය ගෙනඒමට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ සඳහා චීන සමාගමක් වෙතින් මේ වන ප්‍රතිචාර ලැබී ඇති බවත් පෙන්වාදුන්නේය.
     
    "දිස්ත්‍රික් 04ක් කේන්ද්‍රකරගනිමින් අක්කර 15,000ක් පුරා ඇති කිරීමට නියමිත ආර්ථික කලාප සඳහා ඉඩම් ලබාගැනීමේ දී පෞද්ගලික ඉඩම් ලබාගැනීමට සිදුවන්නේ 5%ක් තරම් ඉතා සුළු කොටසක්. මේ සියලු පවරාගැනීම් සිදුකරන්නේ ජනතාවගේ කැමැත්ත මත ඒ සඳහා වන්දි ගෙවීමක් සිදු කිරීමෙන් අනතුරුවයි" යැයි ද කීය
     
    "හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.3ක් වැය වී තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව එතරම් විශාල ණය මුදලක් ගෙවීම අපහසුයි. මෙතරම් විශාල මුදල් වියදම් කිරීමේ දී ආදායම ලබන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුමක් තිබිය යුතුයි. නමුත් පසුගිය රජය මෙම ව්‍යාපෘති කිසිඳු සැලසුමකින් තොරවයි ඉදිකොට ඇත්තේ. එකතු කළ අගය මත බද්ද වුවත් වැඩිකිරීමට සිදු වූයේ මේ නිසයි. වගකීමක් ඇති රජයක් ලෙසට අපට මේ දෙස බලාසිටිය නොහැකියි. ඒ සඳහා විකල්පයක් සෙවිය යුතුයි.ඒ නිසයි අපට චීන රජයේ සහාය ලබාගැනීමට සිදු වූයේ" යැයි ද පැවසීය.
     
    එලෙස චීන රජය විසින් යෝජනා කළ සමාගම් දෙකින් ඉදිරිපත් කළ යෝජනාවන් ආර්ථික කමිටුවේ දී සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස හවුල් බදු ගිවිසුමකට යාමට කටයුතු කළ බවත් කී අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා තවත් සති දෙකක පමණ කාලයකින් සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කොට අවසන් කරන බවත් පැවසීය.
     
    ආර්ථික කැබිනට් අනු කමිටුව විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ව කමිටුවක් පත් කොට තිබේ. අමාත්‍යවරුන් වන රවි කරුණානායක, අර්ජුන රණතුංග, සාගල රත්නායක, නිමල් සිරිපාල ද සිල්වා හා මලික් සමරවික්‍රම මහත්වරුන් එහි සෙසු සමාජිකයෝ වෙති.  
     
    "හම්බන්තොට වරාය බදු ගැනීම සඳහා ඉදිරිපත්වන චයිනා මර්චන්ට් සමාගමට වරාය ක්‍රියාකාරී මට්ටමට ගැනීම සඳහා තවත් මිලියන 600ක් පමණ ආයෝජනය කළ යුතු වනවා. ඒ නිසා ඔවුන් බලන්නේ ඉන් වැඩි ප්‍ර යෝජනයක් ගැනීමටයි. නමුත් රජයක් ලෙසින් අප බලන්නේ ඉන් වැඩි වාසියක් රජයට ලබාගන්නේ කෙසේද කියායි. මෙම සියලු සාකච්ඡාවලින් අනතුරුවයි අවසන් ගිවිසුම අත්සන් කරනු ලබන්නේ" යැයි ද පෙන්වා දුනි.
     
    හම්බන්තොට වරාය රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර සම්පූර්ණ වරායෙන් 80%කොටස් චීන සමාගම වෙතද 20%ක කොටස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැවරෙනු ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya