ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගොඩනැගිලි හැදීමටත් වඩා මිනිසුන්ගේ හිත හැදීමට අපේ හමුදාව ඉදිරිපත් වුණා

    සැප්තැම්බර් 01, 2014
    අලුත්ගම සිද්ධිය නිසා කඩා බිඳවැටුණු ගොඩනැගිලි හැදීමටත් වඩා මිනිසුන්ගේ හිත හැදීමට අපේ හමුදාව ඉදිරිපත් වුණ නිසා හමුදාවේ අපේ විරුවන් සියලුම දෙනාට ස්තුතිවන්ත වන බවත් ඔබගේ මානුෂිකභාවය අපේ රටේ ජනතාව හැම දෙනාටම ආදර්ශයක් වෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අලුත්ගම ප‍්‍රතිසංස්කරණ ආශ‍්‍රිතව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සමාලෝචන රැස්වීමේදීය.

     

    අලුත්ගම සිද්ධිය නිසා නිවාස 211ක් හා සාප්පු 82ක් විනාශ විය. එයින් සියයට 80ක් පමණ මේ වන විටත් සාදා නිමකිරීමට යුධ හමුදාව සමත් වී තිබේ. මෙම ප‍්‍රතිසංස්කරණ සඳහා රජය ද රුපියල් මිලියන 200ක් වෙන් කළ අතර මෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා සෙබළුන් 765ක් සහභාගි වූහ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "අලුත්ගම සිදු වූ ඛේදවාචකය ගැන අප සියලුම දෙනා කනගාටු වුණා. අපි ඒ පළාත්වල ගියාම මිනිසුන්ගේ කඩාවැටුණු මානසිකත්වය හුඟක් වෙනස් වුණා. ඒ මානසිකත්වයෙන් ඔවුන් මිදුණා. එයට ප‍්‍රධාන හේතුව හමුදාව මිනිසුන් ගැන තිබු අවධානයයි. ගොඩනැගිලි සැදීමටත් වඩා මිනිසුන්ගේ හිත් සැදීමට පසුගිය කාලේ හමුදාව විශේෂයෙන්ම මේජර් ජනරාල් මැදවල මහත්තයාගේ ප‍්‍රධානත්වයෙන් මේ ගත්තා වූ ක‍්‍රියාමාර්ගයට ස්තූතිවන්ත වෙනවා. 


    එයට එක් උදාහරණයක් වන්නේ එක පුද්ගලයෙකුට තිබුණේ තනි පලයේ වහලයක්. ඔහු මට කතා කරලා කිව්වා පල දෙකට වහලය ගහල දෙන්න පුළුවන්ද කියලා. මම මාදිවෙල මහත්තයාට කතා කරලා කිව්වා මේක තනි පලයට ගැහුවොත් ගොඩනැගිල්ල හැදෙනවා. දෙපලට ගැහුවොත් හිතත් හැදෙනවා කියලා. එතුමා ඒ වෙලාවෙ ම එය පිළිගෙන ඉටු කර දුන්නා.
     

    අපේ හමුදාව ඉතාමත් මානුෂිකව හා වගකීමෙන් යුතුව කැප වෙලා වැඩ කළා. මේ නිසා ඔවුන්ගේ හිත, වෙච්ච සිද්ධිය ගැන අනුකම්පා සහිතව බැලීම යහපත් වුණා. අද හමුදාව ඉතා ශීඝ‍්‍රයෙන් ප‍්‍රතිසංස්කරණ කටයුතු කරනවා. මෙන්න මේ විධියට හමුදාවේ හා ආරක්‍ෂක අංශවල නිලධාරීන් ක‍්‍රියාකරනවා නම් අපේ රටේ ප‍්‍රශ්න බොහොම සුහදශීලිව විසඳගන්න පුළුවන්. ඒ නිසා ප‍්‍රතිසංස්කරණ කටයුතු හමුදාවට පැවරීම තුළ ඉතාමත් සතුටු වෙනවා. බොහොම විනිවිද අන්දමින් කර මේ කටයුතු කර තියෙනවා.  හමුදාවටත් පොලිසියේ මහත්වරුන්ටත් ස්තූතිවන්ත විය යුතුයි හැමතැනම ඇති වූ අර්බුදවලදී මානුෂිය විධියට හිතලා මිත‍්‍රව මැදිහත් වෙලා ක‍්‍රියාකිරීම ගැන. සියලුම රජයේ නිලධාරීන්ටත්, මහජන නියෝජිතයන් විධියට ක‍්‍රියාකිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ වැඩපිළිවෙළ ඉතා ඉක්මනින් අවසන් කර මුළු රටටම ආදර්ශයක් දෙන්න පුළුවන්" යැයි ඔහු පැවසීය.

    මෙම අවස්ථාවට යුද හමුදාවේ මේජර් ජනරාල් එම්. මැදවල මහතා ඇතුළු හමුදා නිලධාරීන් හා මහජන නියෝජිතවරු පිරිසක් සහභාගී වූහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya