ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "දිවි නැගුම සහන අරුණ" තුළින් ආර්ථිකයේ සැඟවි ඇති අවස්ථාවන් හඳුනාගැනීමට හැකියි

    සැප්තැම්බර් 04, 2014
    මෙරට ආර්ථිකය තුළ සැගවි ඇති අවස්ථාවන් හදුනාගනිමින් එම අවස්ථාවන් සඳහා සාර්ථකව යොමුවන ප්‍රජාවක් රටට අවශ්‍ය බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "දිවි නැගුම සහන අරුණ" ණය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. 
     
    මෙම උත්සවය පසුගියදා මාළඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "අපේ රටේ ජීවත්වන සැලකිය යුතු පිරිසක් දෛනිකව හෝ මාසිකව ලබන ආදායම ඔවුන් ඉදිරියේ ඇති ජීවන අරගලය ජයගැනීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව දක්නට ලැබෙනවා . පසුගිය කාලය පුරා ම රටේ උද්ධමන වේගය තනි ඉලක්කමක තියා ගැනීමට වත්මන් රජයට පුළුවන් වුණා. හැබැයි ඒ උද්ධමනය මනින්න ගන්නා වූ නිර්ණායකවලට අයත් නොවන වියදම් ප්‍රමාණයකුත් අද මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන රටාව දක්වා  ගැට ගැසී  තිබෙන බවත් පැහැදිලි කරුණක්".
     
    "අඩු ආදායම්ලාභි ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය  ස්ථාවරත්වයට ගෙන ඒම යනාදි අරමුණ මුල්කර ගනිමින් මෙම "දිවි නැගුම සහන අරුණ" ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ විෂයභාර අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මේ සඳහා සුවිශේෂි දායකත්වයක් ලබාදෙනවා. මෙරට අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණෙන් ආරම්භ කළ "දිවි නැගුම සහන අරුණ" ණය ලබාගැනීමේදී පවා මෙම ප්‍රජාවට විශාල ප්‍රතිලාභ රැසක්ම හිමි වන බව දක්නට ලැබෙනවා". 
     
    "අද වෙන කොට අපේ රටේ 66%ක් ම ඉන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාව. ඒ 66%  අතරේ නාගරික ව ඉන්න මිලියන 7ක පමණ ජනගහනය ඇතුළත ජීවත් වෙනවා අඩු ආදායම්ලාභී ප්‍රජාවත්. මේ නාගරිකව ජීවත්වන අඩු ආදායම්ලාභී පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වයට වඩා ග්‍රාමීයව ජීවත්වන අඩු ආදායම්ලාභී පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා".
     
    "රටේ සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ඍජු ව ම ගමට මුදල් ගලා නොඑන බව පැහැදිලියි. නමුත් මෙවැනි අඩු ආදායම්ලාභි ප්‍රජාව ඉලක්ක කරගනිමින් ඒ ජනතාව නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් හරහා ගමට සල්ලි එනවා වගේ ම, ගම තුළ ඒ මුදල් සංසරණය වෙනවා. අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ ජීවන තත්ත්වය මේ තුළින් ශක්තිමත් වෙනවා" යැයි ද පැවසීය.
     
    මෙදින විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මාලබේ, බත්තරමුල්ල හා බෝමිරිය යන දිවි නැගුම  ප්‍රජා මූල බැංකුවල ප්‍රතිලාභින් 150ක් සඳහා ප්‍රථම අදියර යටතේ "දිවි නැගුම සහන අරුණ" ණය ප්‍රදානය කෙරිණි. මෙම වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 35කට අධික මුදලක් වැය කෙරේ.
     
    දිවි නැගුම ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් මේ වන විට දිවි නැගුම ප්‍රජා මුල බැංකු හා බැංකු සමිති මගින් ලබාදෙන ක්ෂුද්‍ර මුල්‍ය ණය පහසුකම්වලට අමතරව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජිවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ක්‍රමයක් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් "දිවි නැගුම සහන අරුණ" වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් මහත්වරුන් ද කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඩබ්. දයාවතී මහත්මිය, කඩුවෙල දිවි නැගුම ප්‍රජා මුල බැංකුවේ සභාපති එස්. බණ්ඩාර මහතා, දිවි නැගුම සංවර්ධන නිලධාරින් සහ ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
     
    DB
     
    NMD 4700
     
    NMD 4709
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya