ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අපට අවශ්‍ය වන්නේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් මතු පරපුරක්

    සැප්තැම්බර් 04, 2014
    හොඳම දේ දරුවන්ට ලබා දීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව සිසු පෝෂ දැයේ දරුවන් වෙත තිළිණ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.


    අමාත්‍යවරයා ඊයේ (03) පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති සිසු පෝෂ හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගී වෙමින් මේ බව පැවසීය. අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය මෙම අවස්ථාවට සහභාගී වූවාය.

     

    සිසු පෝෂ හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යතුමා මෙසේ ද පැවසීය. "රටේ ඉදිරි අනාගතය භාරගත යුත්තේ නිරෝගී දරු පරපුරක්. අපේ රටේ දරුවන්ගෙන් 34%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව සමීක්ෂණ මඟින් අනාවරණය කර තිබේ. ඊට අමතරව බෝ නොවන රෝග අවදානමට ද දරුවන් මුහුණ පා සිටිති. යුද්ධයෙන් රට බේරා ගත්ත ද රටේ අනාගතය රෝගී දරු පරපුරක් වෙත භාර දීමට සිදු වේ නම් ඉන් ඵලක් නැත. දරුවන් වෙනුවෙන් අප ලබා දිය යුත්තේ හොඳම දේවල්ය. හොඳම දේ යනුවෙන් අදහස් වන්නේ පිටරටින් ගෙන් වන ආහාර දරුවන්ට ලබා දීම නො වේ. අපගේ වටපිටාවේ රස ගුණ පිරි ආහාර කොතෙක් තිබුණත් ඉන් නිසි ඵල ලබා ගැනීමට බොහෝ දෙනා උනන්දු වන්නේ නැත. අපේ ආහාරවල වටිනාකම නොදන්නා බොහෝ දෙනා පිටරටින් ගෙන්වන ආහාර ඉතා ඉහළින් අගය කරති. 


    වට්ටක්කා, මුරුංගා වැනි එළවළු ආහාරයට ගැනීමට ඇතැමුන් මැලිකමක් දක්වයි. නමුත් ඒවා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් ආහාර බව සිහි තබා ගත යුතුය. කැරට්, බීට් වැනි එළවළුවලට වඩා ගුණදායක එළවළු දරුවන් වෙනුවෙන් ලබා දිය යුතුය. වත්මන් දරු පරපුර ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වී සිටියි. වෙළෙඳසැලේ අලෙවි කරන බීම වර්ග පානය කිරීම සෞඛ්‍යයට අහිතකරය. මේවායේ අධික සීනී අඩංගුය. මෙවැනි පාන වර්ගවලට දරුවන් ඇබ්බැහි වූ විට එම පුරුදුවලින් මිදීමට නොහැකි වීම නිසා දරුවන් රෝගීන් බවට පත් වේ. සමහර දරුවන් දිවා ආහාරය ලබා නොගෙන කිසියම් පානයක් පමණක් ලබා ගනිති. මේ ආකාරයේ වැරදි ආහාර පුරුදු නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරු වන බව සොයාගෙන ඇත.
     
    දරුවන්ගේ ආහාර පිළිබඳ දෙමව්පියන්ට විශාල වගකීමක් ඇත. නිවැරදි ආහාර තෝරා බේරා ගෙන ඒවා දරුවන්ට ලබා දීමට දෙමව්පියන් වගබලා ගත යුතුය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලාවක් ලබා දීමට විශාල වියදමක් වැය නො වේ. අවශ්‍ය වන්නේ ගුණදායක ආහාර නිවැරදි ව තෝරාබේරා ගැනීම පමණි. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මඟින් හඳුන්වා දෙන සිසු පෝෂ රටේ උසස්ම පෝෂණවේදීන්ගේ අදහස් සැලකිල්ලට ගෙන සකස් කළ ආහාරයකි. මේ නිසා ඉතා විශ්වාසයෙන් යුතුව දරුවන්ට මෙම ආහාරය ලබා දිය හැකිය. බොහෝ දෙනා පෝෂණය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම නිසා පෝෂණීය ආහාර වේලක් ලබා නොගනී. අපට අවශ්‍ය වන්නේ  ඕනෑ ම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් මතු පරපුරකි. දැයේ දූ දරුවන්ගේ පෝෂණය පිළිබඳව අවධානය යොමු කරන කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරියටත් රස ගුණ පිරි දේශීය ආහාර ජනතාව හඳුන්වා දෙන බව" කෘෂිකර්ම අමාතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya