ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද ස්වේච්ඡා ගුරුවරුන් අටසීයකට 27 කෝටියක හිඟ වැටුප් ගෙවයි

    සැප්තැම්බර් 06, 2014

    තම පාලන කාලය තුළ කිසි ම ආකාරයකින් නීත්‍යනූකූල නොවන අවධිමත් පත්වීමක් ලබා නොදෙන්නේ යැයි ද පසුගිය පාලන සමයේ දී එසේ අවිධිමත්ව ලබා දුන් පත්වීම් ස්ථීර කර ඔවුන්ගේ සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට තමාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූයේ යැයි ද උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවැසීය.


    ඒ මහතා එසේ සඳහන් කළේ උතුරු මැද පළාතේ ස්වෙච්ඡා ගුරු සේවයේ යෙදී සිට ස්ථීර වූ ගුරුවරුන් අටසීයකට (800) ගෙවීම සඳහා රුපියල් විසි හත් කෝටි විසි ලක්ෂයක (ලක්ෂ 2720) හිඟ වැටුප් පිරිනැමීම සඳහා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (06) පැවති උත්සවයකට එක් වෙමිනි.  

    ස්වේච්ඡා ගුරුවරුන් ලෙස 1999, 2000, 2001 යන වර්ෂවලදී පාසල්වලට අනුයුක්ත වූ මෙම ගුරුවරුන් 2013 වසරේ ස්ථීර ගුරු සේවයට බඳවා ගනු ලැබුව ද ඔවුන් සේවය කළ වර්ෂ සඳහා හිඟ වැටුප් ගෙවීම් කර නොතිබිණ.

     

    මෙම ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලබා දෙන ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාත් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රතිපාදන වෙන් කර තිබේ. ගුරුවරුන්ට හිඟ වැටුප් ගෙවීම විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එස්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     

    එහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මෙසේ පැවසීය. "පත්වීම් ලබා දුන් ස්වේච්ඡා ගුරුවරුන්, පත්වීම් ස්ථිර කරන ලෙස උද්ඝෝෂණ පැවැත්වූවා. එ.ජා.ප. රජයක් තිබුණා නම් පත්වීම් ස්ථිර කරනු වෙනුවට හිරගෙවල්වල යන්න තිබුණා. මහින්ද රාජපක්‍ෂ රජයේත් එ.ජා.ප.යෙත් වෙනස එයයි. පත්වීම් ස්ථීර වූ ගුරුවරුන්ගේ හිඟ වැටුප් ජනාධිපතිතුමා ලබා දුන්නා සේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් ද කරනවා.



    මේ ස්වේච්ඡා ගුරුවරු බඳවාගෙන අවුරුදු 10කට වැඩි කාලයක් ස්ථිර නොකර තියාගෙන හිටියා. මම බලයට පත්වූවාට පසුව ඔවුන්ගේ පත්වීම් ස්ථිර කරන්නට සිදු වූවා. ඒවා බඳවාගෙන තිබූ ආකාරය නම් එතරම් විනිවිද භාවයක් නෑ. මධ්‍යම රජයේ අනුමැතිය ලබාගෙන නො වේ මේ පත්වීම් ලබා දී තිබුණේ. මගේ පාලන කාලය තුළ කවදාවත් අවධිමත් නීත්‍යනුකූල නොවන ආකාරයේ පත්වීමක් දෙන්නේ නෑ.

    මේ පත්වීම් විතරක් නො වේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද නීත්‍යනුකූල නොවන නමක් යොදා "සහන කම්කරු" ලෙස නීත්‍යනුකූල නොවන පත්වීම් වර්ගයක් පසුගිය කාලයේ දී ලබා දී තිබුණා.  ඒවාත් ස්ථීර කරන්න මට ඉතා වෙහෙසක් දරන්න සිදු වුණා. විවිධ හේතු මත තමන්ගේ අවශ්‍යතාවන් නිසා මේ ආකාරයේ නීත්‍යනුකූල නොවන දේ කිරීම තුළින් එම පත්වීම් ලබන අයත් විශාල වශයෙන් අපහසුතාවට පත් වෙනවා. අවසානයේ දී ඉන්න පාලකයාත් අපහසුතාවට පත්වෙනවා.



    උතුරු මැද පළාතේ මේ ආකාරයට පළාත් පාලන ආයතනවලත් නීත්‍යනුකූල නොවන අනියම් පත්වීම් ලබා දී තිබුණා. ඒවාටත් වගකියන්න වුණේ මටයි. එම පත්වීම් ස්ථිර කරන්න මගේ පාලන කාලයේ දී මට හැකි වූවා. කෙටි කාලයකට සතුටු කරන්න දේශපාලන වාසි ගන්න අවසානයේ දී ඔවුන් අමාරුවේ වැටෙන්න මම කටයුතු කරන්නේ නෑ. මම වැඩ කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දර්ශනය මතයි. ඉදිරියේ දී  සියලු බඳවා ගැනීම් ඉතා විනිවිද භාවයෙන් යුක්තව පමණයි සිදුකරන්නේ. මේ ගුරුවරු කොළඹ ගිහින් පත්වීම් ස්ථීර කරන්න ඉල්ලුවා. ඊට පසු හිඟ වැටුප් ඉල්ලලා කොළඹ ගිහින් උද්ඝෝෂණය කරලා ඔවුන්ට අනවශ්‍ය දේ කරන්න වෙලා තියෙද්දී ජනාධිපතිතුමාට මම මේ ගැන දන්වලා මෙතරම් කෝටි ගණනක මුදලක් ලබා දුන්නා. නිසි ක‍්‍රමවේයට බඳවා ගෙන තිබුණා නම් මේවාට ගැටලු ඇතිවන්නේ නෑ. අද එක්කෙනෙකුට රුපියල් ලක්‍ෂ 05ක් පමණ හිඟ වැටුප් වශයෙන් ලැබෙනවා.

    ජනාධිපතිතුමාට මේ සියලු දෙනා ණය ගැතියි. එතුමාගේ මේ වැඩපිළිවෙළ නිසයි හැම මැතිවරණයකම තැපැල් ඡන්ද ප‍්‍රතිඵලයෙන් ආණ්ඩුව ඉහළින් ම දිනන්නේ. රාජ්‍ය සේවකයා ජනාධිපතිතුමා ගැන ඉහළ විශ්වාසයකිනුයි ඉන්නේ. ඉදිරියේ දී පැවැත්වෙන ඌව මැතිවරණයේදී ඒ දේ තමයි වෙන්නේ. රාජ්‍ය සේවයට මේ තරම් බඳවා ගත් යුගයක්, රාජ්‍ය සේවයට මේ තරම් සැලකූ යුගයක් කිසිම යුගයක තිබුණේ නෑ, නැවත බිහිවෙන්නෙත් නෑ.

     

    මෙහිදී අමාත්‍යවරුන් අතින් රුපියල් ලක්‍ෂ 700ක මුදලක් පැමිණි සිටි ගුරුවරුන් හට බෙදා දුන් අතර විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන සහ පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන මහත්වරු ද අදහස් දැක්වූහ. 

     

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ, එම්. හේරත් බංඩා, කේ.පී.එස්. කුමාරසිරි, පළාත් භාණ්ඩාගාර ලේකම් එස්.එච්. මහවිතාරණ, පළාත් අධ්‍යාපන ලේකම් එම්.ජී. පණ්ඩිතරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා නිර්මලා ඒකනායක යන මහත්ම මහත්මීහු ද එක්වූහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya