ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6කට අධික සංඛ්‍යාවකට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතින් සෙත

    සැප්තැම්බර් 23, 2014

    ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට බලාත්මක කරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ලක්ෂ 6කට අධික පිරිසකට සෙත සැලසෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 


    මෙම පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (22)  ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින ලක්ෂ 6කට අධික ශිල්පීන්ගෙන් 75%කට පමණ පිළිගත් සහතිකයක් නැහැ. ඔවුන් පිළිගත් සහතිකලාභීන් පිරිසක් බවට පත්කිරීමට මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා. අද වන විට කම්කරු වෙළෙඳපොළ තොරතුරු ප්‍රකාශනයේ කියන්නේ ඉදිකිරීම් ශිල්පීන් අතරින් සහතිකලත් පිරිස 150,000ක් පමණ කියලා. මේ පනත ස්ථාපිත වෙලා ඉතා කෙටි කාලයක් තුළ මේ තත්ත්වය වෙනස් කිරීමට අපි කටයුතු කරනවා.


    මේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ මේ ක්ෂේත්‍රයේ කිසියම් නියාමනයක් පාලනයක් ඇති කිරීම අනිවාර්ය සාධකයක් වී තිබෙනවා. මම මේ අමාත්‍යාංශය භාරගන්නා විටත් කලින් සිටි අමාත්‍යතුමා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. ඒක සම්මත වෙන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තිබුණා. අපි ඒ පනත අරගෙන යළි අධ්‍යයනය කර විවිධ විද්වතුන්, වෘත්තිකයන්, කොන්ත්‍රාත්කරුවන් සමඟ සාකච්ඡා කර දීර්ඝ ක්‍රියාවලියකින් පසුවයි අපට මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වුණේ. මේ යෝජිත පනත විෂය කාර්යය හා සම්බන්ධ සියලු පාර්ශවයන් ආවරණය කරන පනතක්.

     

    මේ ඉදිකිරීම් ශිල්පීන් සම්බන්ධයෙන් ඔවුන්ව යටපත් කරන ඉතා සාහසික භාෂා භාවිතයක් තමයි දැනට අප සතුව පවතින්නේ. ඒ නිසා ඒ තත්ත්වය අප වෙනස් කළ යුතුයි. ඒ තුළින් ඉදිකිරීම් ශිල්පියාටත් ඔහුගෙන් සේවාවන් ලබා ගන්නා සේවා දායකයාටත් අභිමානයක් ලැබෙනවා. 

    අපි මින් ඉදිරියට මොවුන් හඳුන්වන්නේ ඉදිකිරීම් තාක්ෂණික ශිල්පීන් ලෙසයි. ඒ නිසා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා මෙච්චර කල් භාවිත කළ “බාස් ” කියන වචනය අයින්කරලා ඉදිකිරීම් තාක්ෂණික ශිල්පීන් කියන යෙදුම පාවිච්චි කරන්න කියලා ” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya