ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පුරාවස්තු විනාශයන් අවම මට්ටමක

    සැප්තැම්බර් 23, 2014


    2014 වර්ෂයේ ආරම්භයේ සිට අගෝස්තු 31 දිනට පුරාවස්තු සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අය කර ගෙන ඇති දඩ මුදල රුපියල් එක්කෝටි හතළිස්හතර ලක්ෂය ඉක්මවා ඇත.


    2013 වසරේ එසේ අය කරගත් දඩ මුදල රුපියල් හාරකෝටි තිස්දෙලක්‍ෂයකටත් වඩා වැඩි විය.


    පුරාවස්තු විනාශයන් සහ පුරාවස්තු සොරාගැනීමේ කටයුතු වැළැක්වීමේ ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවේ පුරාවස්තු ආරක්ෂණ ඒකකයෙන් මහත් සහයෝගයක් ලැබේ. දිවයිනේ නන් දෙසින් වාර්තා වන පුරාවස්තු විනාශ කිරීම්, පුරාවස්තු සොරකම් කිරීම්, පුරාවස්තු සෙවීමේ අරමුණින් සිදුකෙරෙන අනවසර කැණීම් හා පුරාවිද්‍යා ආඥා පනත යටතට ගැනෙන විවිධ වැරදි යනාදිය සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම උක්ත පුරාවස්තු ආරක්ෂණ පොලිස් කොට්ඨාසය මගින් සිදුකෙරේ.


    පුරාවස්තු ආඥා පනතේ 15 වෙනි වගන්තිය යටතේ දක්වා ඇති පුරාවස්තු සොරකම් කිරීම හා විනාශ කිරීමට අදාළ වැරදි සඳහා කඩිනම් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම හේතුවෙන්, පසුගිය වසරවලට සාපේක්‍ෂ ව මේ වසරේ එකී වැරදිවල පැහැදිලි අඩුවීමක් දක්නට ලැබේ. 2013 වසරේ දී වාර්තා වී ඇති මුළු වැරදි සංඛ්‍යාව 340ක් වූ අතර පසුගිය මස 31 දක්වා වාර්තා වී තිබුණේ සිදුවීම් 225ක් පමණි. එය පසුගිය මස 31 වන විට 157 දක්වා පහත බැසීමෙන් පැහැදිලි අඩු වීමක් දක්නට ලැබේ. 2013 වර්ෂයේ වාර්තා වූ සිදුවීම්වලින් 172ක විමර්ශන කටයුතු අවසන් ව ඇති අතර, 2014 වර්ෂයේ මේ දක්වා වාර්තා වූ සිදුවීම්වලින් 86ක විමර්ශන කටයුතු අවසන් කර තිබේ. මෙම කැණීම් සිදුකර ඇති ස්ථාන අතරින් අති බහුතරයක් පුරාවිද්‍යාත්මක වැදගත් කමක් නොමැති ස්ථාන වන අතර ඒවායෙන් විනාශයන් සහිත පුරාවිද්‍යා ස්ථාන ඇත්තේ ද 50ක් වැනි සුළු ප‍්‍රමාණයක් බවට තහවුරු කර ගෙන තිබේ.      

    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අතර පුරාවස්තු ආරක්ෂා කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ව ඊයේ (22) පොලිස් දෙපාර්තමේන්තුවේදී සාකාච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී පොලිස් වසම් මට්ටමෙන් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටු පුරාවස්තු ආරක්ෂා කිරීමේ වැඩසටහනට සහභාගී කරවා ගැනීම පිළිබඳ ව අදහස් හුවමාරු විය. සිවිල් සමාජයේ නිරතුරු අවධානය පුරාවස්තු විනාශ කරන්නන් සහ සොරාගන්නන් කෙරෙහි යොමු කරවීම මෙම කමිටුවල සහභාගිත්වය ලබා ගැනීමේ අරමුණයි. පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව ලබා දෙන්නා වූ සහය පිළිබඳ ව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත විශේෂ ස්තූතිය පළ කළේය. 

    මේ අතර පසුගිය වසරවල පුරාවස්තු ආරක්ෂණ පොලිස් කොට්ඨාසය හා එක් ව ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් පුරාවස්තු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ. අතීත උරුමය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දීම සඳහා ඉදිරියට ද එකී වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන අතර ඒ සඳහා මහජනයාගේ සහයෝගය ද අත්‍යවශ්‍ය වේ. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya