ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජන සභා ක්‍රමය රටේ වහා ම පිහිටු විය යුතුයි

    ඔක්තෝබර් 02, 2014

    මාලනී ඇඳගම මහාචාර්යතුමිය විසින් රචිත "ශ්‍රී ලංකාවේ ගම් සභා ක්‍රමයේ ඉතිහාසය" නම් කෘතිය නැවත නිකුත් කිරීම ඉතා කාලෝචිත බවත් ශ්‍රී ලංකාව දැන්වත් සිය පාලන ව්‍යුහය රටේ ඉතිහාසයට ගැළපෙන ලෙස සකස් කර ගත යුතු බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


    ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ එකී කෘතිය නැවත එළිදැක්වීම සඳහා පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ පෙරේදා (30) පැවති උත්සවයකදීය. උත්සවයේ මුලසන දිවියාගහ යසස්සී හිමියන් විසින් උසුලනු ලැබූ අතර මැදගොඩ අභයතිස්ස හිමියෝ හා හඟුරන්කෙත ධීරානන්ද හිමියෝ ද එහිදී අදහස් දැක්වූහ. 

    වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා, කලකට පෙර ලංකාවේ කාන්තාවන්ට උසස් අධ්‍යාපන වරම් අහිමි වී තිබූ යුගයක ගමෙන් පැමිණ මහාචාර්යවරියක් වීමෙන් මාලනී ඇඳගම මහත්මිය රටේ දියණිවරුන්ට ආදර්ශයක් වී තිබේ. එමෙන් ම ඇතැම් මහාචාර්යවරියන් මෙන් නො ව ඇය රටට ආදරය කරන, රට දුෂ්කර තත්ත්වයන්ට පත් වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටි සැබෑ දේශප්‍රේමී මහාචාර්යවරියකි.

    ඇයගේ මේ කෘතියෙන් පෙනී යන්නේ ඉතා දුරාතීතයේ සිට ලංකාවේ ග්‍රාමීය පාලනයක් තිබූ බවත්, ගමේ සංවර්ධනය පිළිබඳව එමඟින් තීන්දු ගත් බවත්ය. අනුරාධපුර යුගයේදී විමධ්‍යගත පාලනයක් ලෙස ද උඩරට යුගයේදී සාම්ප්‍රදායික නායකත්වයක් ලෙස ද බ්‍රිතාන්‍ය යුගයේදී ගම් කාර්යසභාවක් ලෙස නිලධාරී ව්‍යුහයක් ලෙස ද එය පැවතී අවුත් 1980 දී අහෝසිකරන ලදී. ගම්සභා වෙනුවට 1991දී හඳුන්වා දුන් ප්‍රාදේශීය සභා එකී පරිපාලනය කිරීමට අපොහොසත් වූ අතර අද වන විට ආණ්ඩුවේ සංවර්ධන කොන්ත්‍රාත්කරුවන්ගේ තත්ත්වයට පහත වැටී ඇත.
      
    බටහිර ලෝකය, පෙරදිග ලෝකය මුදලින්, බලයෙන් අතික්‍රමණය කළේ ඇයි යන්න ගැන මතවාද කීපයක් පවතී. ඇතැම් විද්වතුන් පවසන්නේ ඝර්ම කලාපීය මිනිසුන් ස්වභාවයෙන් කම්මැලි බවත්, අධික උණුසුම නිසා ඔවුන්ගේ ශ්‍රමඵලදායීත්වය අඩු බවත්ය. තවත් පිරිස් තර්ක කරන්නේ යුරෝපයේ පැවති වහල් වැඩවසම් සමාජ ක්‍රමයන්, ක්‍රිස්තියානි පුනරුදය හා පසුව පැමිණි බුද්ධිවාදය නැමති නව සංස්කෘතික ප්‍රවාහය විසින් උදුරා දැමූ බවය. එවැන්නක් ආසියාවේ නො වූ බවය. ඊළඟ තර්කය නම් පාලකයන් අනාගතය දැක සැලසුම් සහගත ලෙස ක්‍රියාකළ බවය. රටක් ආර්ථික සමාජීය ලෙස දියුණුවන්නට නම් ඒ සඳහා ආයතන අව්‍යශ්‍යයි. මේ තර්ක සියල්ලේ කුඩා ඇත්තක් තිබේ. බටහිර ලෝකය මූලික වශයෙන් අන් රටවල් අභිබවා ගියේ සංවිධානාත්මක ඝාතන ක්‍රියා මඟිනි. දැන් පෙරදිග හා සෙසු ලෝකය ද බටහිර තාක්ෂණය උපයෝගී කරගනිමින් බටහිර පරදවන සුළු ආර්ථික දියුණුවක් අත්පත් කරගෙන ඇත. ජපානය, කොරියාව, තායිවානය, චීනය ආදියේ මෑත කාලීන අත්දැකීම එයයි. ශ්‍රී ලංකාව ඒ රටවල් අනුකරණය කළ යුතු නො වේ. එහෙත් එයින් ආදර්ශ ගත යුතුය. 

    ශ්‍රී ලංකාවට නූතන සමාජයේ අභියෝග ජයගත හැකි වන පරිදි නව පාලන ක්‍රමයක් අවශ්‍ය කෙරේ. රටේ ඒකීයභාවය සුරකිමින් ගම් මට්ටමේ ජනතාවට තමන්ගේ ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා ඉටුකර ගත හැකි 'ජන සභා' ක්‍රමයක් යෝජනා වූ අතර පනත් කෙටුම්පතක් ද ගෙනෙන ලදී. යට ගැසූ ජන සභා පනත වහා ක්‍රියාත්මක කළ යුතුයි.  පාලන ක්‍රමය, මැතිවරණ ක්‍රමය ආදිය පිළිබඳ නිවැරදි තීන්දු නොගෙන රට ඉදිරියට යා නොහැක. රට එක තැන පල්කිරීමට ඉඩ දිය යුතු ද නැත. සියලු බුද්ධිමතුන්ගේ අද වගකීම පූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහා නොබියව ඉදිරිපත් වීමයි.

    මාලනී ඇඳගම මැතිණිය සඳහන් කරන ගම් සභා ක්‍රමයට සමාන ක්‍රමවේදයක් 2010 දී අපි මහින්ද චින්තනය මඟින් ඉදිරිපත් කළ අතර එය 'ජන සභා' ක්‍රමය නමින් හැඳින්වීය. සෑම ප්‍රාදේශීය සභාවකව ම ජන සභා පිහිටුවා ස්වේච්ඡාවෙන් පිරිස් සම්බන්ධ කරගනිමින් ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා විදුහල්පතිවරුන් ප්‍රජා නායකත්වයට පත්කොට ඒ අය මඟින් ප්‍රදේශයේ සංවර්ධනය තීරණය කළ යුතුවීම මෙහි කාර්යය විය. නමුත් මෙම පනත අදවනතුරු සම්මත කරගැනීමට නොහැකිවී තිබීම කනගාටුවට කරුණකි. 

    පාලකයාගේ නියාම ධර්ම සහ රටේ ආයතන හැසිරෙන ආකාරය රටක් සෑම අතින් ම දියුණුවට ඉවහල් වේ. පාලකයාගේ ගමන් මඟ, සැලසුම්කරණය, තීරණ, ආයතනික ව්‍යුහයන් හා එයට ගැළපෙන පරිපාලන ව්‍යුහයන් රටක් ඉදිරියට ගෙනයාමට බලපානු ලබයි. රටේ පාරිපාලනය ගැන ගම් මට්ටමේ හා බිම් මට්ටමේ පාලනය ගැන නව පරම්පරාවට මේ රටේ නව අදහසක් 'ශ්‍රී ලංකා ගම් සභා ක්‍රමයේ ඉතිහාසය' ග්‍රන්ථය තුළින් ලබා දෙන බව පැහැදිලියි. මේ රටට වහා ම ජන සභා ක්‍රමයත්, ජනසභා ක්‍රමයේ සිට පාර්ලිමේන්තුවේ විධායකය දක්වා කවරාකාරයේ පාලනයක් විය යුතු යන්නත්, අපේ සදාචාර දියුණුව, ආධ්‍යාත්මික දියුණුව, ආර්ථික දියුණුව හා පරිසර සංරක්ෂණය සිදුකරන පරිපාලනමය ආයතන මොනවාද යන්න අප විධිමත් සාකච්ඡාවක් ඇති කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya