ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දකුණු ආසියාවේ පැල්පත්වලින් තොර එකම රට ලංකාවට බවට පත්කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා

    ඔක්තෝබර් 07, 2014
    ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වීමෙන් දකුණු ආසියාවේ පැල්පත්වලින් තොර එක ම රට ශ්‍රී ලංකාව බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ලෝක ජනාවාස දින 
    සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
     
    "ජනාවාස හඬක් - ජන සෙවණින් හෙටක්" යන තේමාව යටතේ මෙවර 2014 ලෝක ජනාවාස දිනය සමරනු ලැබීය. මෙම සමුළුවේ විශේෂත්වය වන්නේ නිවාස ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා මෑත ඉතිහාසයේ ප්‍රථම වරට සැකසූ ජාතික නිවාස ප්‍රතිපත්තිය විමල් වීරවංශ මහතා අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීමය.
     
    මීට අවුරුදු 30කට කලින් ලෝක ජනාවාස දිනයක් පවත්වන්න ඕන කියන යෝජනාව ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකාවෙන්. ඉන් අවුරුදු 30කට පසු ලෝක ජනාවාස දින සමුළුවක් ජනාවාස දිනය නිමිත්තෙන් ගත්තාවූ දැවැන්ත ක්‍රියාකාරකම් රැසක් සමඟ ඉතාම විශිෂ්ට ආකාරයෙන් ලෝක ජනාවාස දින සමුළුවක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි. 
     
    බොහෝ රටවල ලෝක ජනාවාස දින වැඩසටහන් නිලධාරී මට්ටමින් ක්‍රියාත්මක වන කුඩා ක්‍රියාකාරකම් කිහිපයකට සීමාවෙද්දි ශ්‍රී ලංකාව ජනාවාසකරණයේ තියුණු අභියෝග ජයගනිමින් නව පරිච්ඡේදයක් ලියමින් සිටින යුගයක රාජ්‍ය නායකත්වයේ පූර්ණ දායකත්වය, මැදිහත්වීම හා නායකත්වය යටතේ අද දියත්වෙමින් තිබෙන බව  ජනාවාස සමුළුවට ජනාධිපතිතුමා සහභාගී වීමෙන් ප්‍රකට වෙනවා.  
     
    දකුණු ආසියානු කාලපයේ වැඩි ම ස්ථීර නිවාස ප්‍රමාණයක් තිබෙන රට ලංකාව. දකුණු ආසියානු කලාපයේ 82% ක පමණ ස්ථීර නිවාස තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ. වෙන රටවල්වල මේ ගණන ඉතා ම අඩු වෙනවා. එය ජනාවාසකරණ තොරතුරු ආශ්‍රිත ව 
    සොයා බැලුවහම තමුන්නාන්සේලාට ඒ බව පේනවා. එපමණක් නොවේ, දකුණු ආසියාවේ අඩු ම පැල්පත් සංඛ්‍යාවක් තියෙන්නෙත් මේ පුංචි රටේ. එය 136,000ක්. 
     
    ඉන්දියාව, වෙනත් දකුණු ආසියාවේ අනිකුත් රටවල, ඒ සියල්ල සමඟ සසඳලා ජනගහන ඝනත්වයේ අනුපාතයක් හැටියට කල්පනාකර බැලුවත්, දකුණු ආසියාතික කලාපයේ අඩු ම පැල්පත් ප්‍රමාණය තිබෙන්නේ මේ රටේ. ඒ පැල්පත් 136,000ක ප්‍රමාණයෙන් කොළඹ අග නාගරික බලප්‍රදේශයේ පදිංචි පවුල් 60,000කගෙන් 30,000ක පමණ ප්‍රමාණයක් 2015 වසර වන විට නව මහල් නිවාස පද්ධතියකට ගෙන ඒමට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දැවැන්ත වැඩපිළිවෙළක් වර්තමානයේ දී ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඒ පැල්පත් 136,000 වැඩිකල් යන්න කලින් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඒ සංඛ්‍යාලේඛනයත් තුරන්කර පැල්පත්වාසීන් නොමැති දකුණු අසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බවට පරිවර්තනය කිරීම මේ ජනාවාස සමුළුවේ අප ඉදිරිපිට තිබෙන අභියෝගය. ඒ අභියෝගය ජයගන්න දැවැන්ත දායකත්වයක් අද මේ රජය ලබාදෙනවා. 
     
    2010ට කලින් වසරකට වැඩි ම වශයෙන් 25,000ක් ස්ථීර නිවාස ඉදිවුණු මේ රටේ 2011 වසරේදී පමණක් ලක්ෂ 4කට ආසන්න වූ ස්ථීර නිවාස ඉදිවෙලා තිබෙනවා. ඒ ප්‍රවණතාව දෙගුණයක් පමණ ඉහළට ඔසවා තිබෙනවා. මෙයින් පේනවා අපි අභියෝගය 
    ජයගනිමින්  සිටිනවා. අපි අභියෝග සමඟ සටන් කරමින් සිටිනවා. වර්තමාන රජය ඒ අභියෝග සමඟ සටන් කරමින්, පොරබදිමින්  ජයග්‍රහණ අත්පත්කර ගනිමින් පමණක් ස්ථීරසාරව නියම ප්‍රතිඵලය නියම ජයග්‍රහණය හිමිකර ගැනීම දක්වා ජනාවාස හා 
    නිවාසකරණය ගෙනියනවා කියලා මතක් කරනවා. 
     
    නිදහසින් පසු සෑම වසරකම සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය 5% පමණ අගයක පැවතුණා. අද කාර්තුවකට 21% ඉක්ම වන වර්ධන වේගයක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 
    තියෙනවා. දළ දේශීය ආදායමේ 8%ක පමණ කොටසක් ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය 
    කරනවා. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  විප්ලවීය පිම්මක් පැනපු යුගයක් හැටියට මේ රජය 
    යටතේ ගෙවුණු යුගය පත්වෙලා තියෙනවා. 
     
    දේශීයවත් ජාත්‍යන්තරවත් එම අභියෝග ජයගනිමින් හැම උගුලකින්ම මේ පොළොව බේරාගෙන ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්ය ලැබේවායි මෙම ජනාවාස දින සමුළුවට අපේ ආරාධනය පිළිගෙන ජනාධිපතිතුමා පැමිණිලා මේ ජනාවාසකරණ අභියෝගය ජයගැනීමට කටයුතු කරන සේනාංකයට ලබාදෙන ධෛර්යය නායකත්වය වෙනුවෙන් ස්තූතිය පුදකර සිටිනවා යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ පණිවුඩය එම 
    වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සමන් ඒකනායක මහතා විසින් ප්‍රකාශයට පත්කරන 
    ලදී. 
     
    එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ්) සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි සෑම වසරක ම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳු දින (මේ වර්ෂයේදී ඔක්තෝම්බර් 06 වන සඳු දින ) ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සැමරීම සිදුකරයි.
     
    මෙවර ලෝක ජනාවාස දින තේමාව “Voices From Slums”යන්නයි. "නාගරික  පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිත ව ජීවත් වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්" යන්න මින් අදහස් කෙරේ. මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැලපෙන අයුරින් "ජනාවාස හඬක් - ජනසෙවණින් හෙටක්" යනුවෙන් ප්‍රතිනිර්මාණය කෙරිණ.
     
    ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝ කාලයක අවශ්‍යතාවක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙම සමුළුවේ ප්‍රධාන අංගයක් විය.
     
    ඊට අමතරව විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් ලෝක ජනාවාස දිනය වෙනුවෙන් නිර්මාණය කළ සමරු ඵලකය හා සහාධිපත්‍ය පුවත්පතේ විශේෂ කලාපය අතිගරු 
    ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කරන ලදී.
     
    2014 ලෝක ජනාවාස දින සමුළුව වෙනුවෙන් කියුබානු රජයේ සුභාශිංෂණ පිරිනැමීම 
    සඳහා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී ඉන්දිරා ලෝපෙස් මහත්මිය මෙම අවස්ථාවට 
    සහභාගිවීම විශේෂත්වයකි. ඊට අමතරව මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජින්රු සේවා, 
    නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කොළඹ දිස්ත්‍රික් 
    පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද සිල්වා, ඌව පළාත් සභා මන්ත්‍රී පද්ම උදය ශාන්ත, මොරටුව 
    නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්  
    අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා,  එහි අතිරේක ලේකම් (නිවාස ) 
    කේ.ඒ.  තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සභාපති ජයන්ත සමරවීර, එහි 
    සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ  සභාපති ජගත් කුමාර පෙරේරා,  නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ  සභාපති නීතීඥ පාලිත ගමගේ, එහි සාමාන්‍යාධිකාරී  සුමිත් වන්නිආරච්චි,  සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  සභාපති නීතීඥ  කපිල ගමගේ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කැෂියන් හේරත්, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ අනුර දසනායක, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙරන්ජන් කුරුකුලසූරිය, රජයේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ඉංජිනේරු ඩබ්.එම්.කේ.පී.එස්.ආර්. ප්‍රනාන්දු, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්. ජ්‍යෙචන්ද්‍රන් යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු, ජනාවාසවල පදිංචි දෙමව්පියෝ, දරු දැරියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya