ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආබාධිත දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ප්‍රතිලාභ ලැබෙන සාර්ථක අයවැයක්

    ඔක්තෝබර් 25, 2014
    ආබාධිත දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ප්‍රතිලාභ රැසක් ලැබෙන හදවත, බුද්ධිය එක්තැන්කොට තැනූ සාර්ථක අයවැයට විපක්ෂය බිය වී ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිවාස 81කින් සමන්විත පෙරියකුලම් ජන සෙවණ විරු ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් අද (25) පැවති උත්සවයට ප්‍රධාන අරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කරනු ලබන ඇතැම් පොරොන්දු ඇතැම් අවස්ථාවලදී ඉටු නොවුණත් අයවැයක යෝජනා අනිවාර්යෙන් ම පාර්ලිමේන්තුවට වගකියන නිසා ජනාතාව තුළ ඒ පිළිබඳ ව දැඩි විශ්වාසයක් තිබෙනවා. අයවැය මඟින් සහන ලබා දෙන විට විපක්ෂය බිය වී මැතිවරණ පොරොන්දු ලබාදෙන බව පවසමින් අසත්‍ය තර්ක ඉදිරිපත් කරනවා . 
     
    විදුලි ගාස්තු, ගෑස් මිල අයවැයට පෙර අඩු කළා. මැතිවරණයෙන් පසු ඒවා වැඩි කරන බව විපක්ෂය කියනවා. එහෙම කරන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. විපක්ෂය කියන විදිහට එහෙම වෙනවා කියලා අපි උපකල්පනය කළා කියමු, රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම, වසර ගණනක් පැවති වැටුප් විෂමතා ඉවත් කිරීම, සියලු දීමනා මූලික වැටුපට එකතු කිරීම, විශ්‍රාම වැටුප් වැඩිකිරීම ඇතුළු මේ සියළු ම දීමනා දිගටම ලැබෙනවා . ඒවා ආපහු අඩුකරන්න බැහැ. ඒවා වෙනස් කළ නොහැකියි. ජනතාවට ඒ බව තේරුණාට විපක්ෂයට ඒ බව නොතේරෙන එක අවාසනාවක්.
     
    2005 වර්ෂයේ සිට රට ඉදිරියට යනවා. 2010 වසරෙන් පසු රටේ සංවර්ධන මාවත වෙනස් කළා. ඒ ඇති කරපු සංවර්ධනයේ ප්‍රතිඵල අද ජනතාවට ලබා දෙන්න පටන් ගෙන තිබෙනවා. යුද්ධයට වියදම් වුණු මුදල් කොහේද කියලා විපක්ෂය අහනවා. පසුගිය කාලයේ රට සංවර්ධනය කළේ ඒ මුදල්වලින්. දැන් ජනතාවටත් විශාල වශයෙන් ඒවායේ ප්‍රතිලාභ දෙන්න පටන් අරගෙන"  යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම”  අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව පෙරියකුලම් ජන සෙවණ විරු ගම්මානයේ ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ලැබුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසිනි. පෙරියකුලම් විරු ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 37.8ක මුදලක් වැය කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟිනි. ඊට අමතරව ජලය, විදුලිය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 12.35කට අධික මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැය කරන ලදී.  නිවාසලාභීන් විසින් ද රුපියල් මිලියන 35කට අධික මුදලක් නිවාස ඉදිකිරීම සඳහා වැය කරනු ලැබ ඇත. නිවාස ඉදිකිරීම සඳහා ත්‍රීකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ඉඩම් නොමිලේ ලබා දී තිබේ.
     
    මෙහිදී ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ඉඩම් නොමැති පවුල් 22ක් සඳහා ඉඩම් හිමිකම්පත්‍ර ප්‍රදානය කිරීම ද විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් සිදුකෙරිණ.
     
    මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නජිබ්.ඒ.මජිද්, නැගෙනහිර පළාත් අමාත්‍ය උදුමාල් ලෙබ්බේ, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජයන්ත විජේසේකර, ජේ.එම්.ලාහීර්, කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපති ඒ.මුබාරක්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya