ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ දිස්ත්‍රික්කයේ පරිසර දූෂණයට යෝගට් කෝප්ප විශාල ලෙස හේතු වී තිබෙනවා

    ඔක්තෝබර් 29, 2014

    කොළඹ දිස්ත්‍රික්කයේ පරිසර දූෂණයට යෝගට් කෝප්ප විශාල ලෙස හේතු වී ඇති නිසා ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය වහාම යොමු විය යුතු බැවින් මේ සදහා තමන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා එම කාර්යාලයේ පැවති පරිසර හා ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදී ය.

     

    යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධ ව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් ජාගොඩ මහතා පැවසුවේ, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යොමු කර ඇති ලිපිය ලැබී ඇති බවත් එහෙත් මධ්‍යම පරිසර අධිකාරියේ දැනට ක්‍රියාත්මක වන්නේ ජාතික පාරිසරික පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාර ව නිසා යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා නිෂ්පාදකයාට බල කිරීමට අදාළ පනත යටතේ ඍජු ප්‍රතිපාදන නොමැති බවත් ය.

     

    මේ සම්බන්ධ ව නිලධාරීන් දිගින් දිගට ම අදහස් දැක් වූ අතර පවතින ගැටලු ව සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට යෝජනාවක් පරිසර අමාත්‍යංශය වෙත යොමු කිරීම සුදුසු බව අවසානයේ දී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තීරණය කරන ලදී.

    මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය යටතේ පවතින පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ වැඩසටහන් නිලධාරී චන්දන කොඩිප්පිලි මහතා අදහස් දක්වමින්, දැනට කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ වෙන් කර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් දැනට තෝරාගත් ප්‍රදේශවල එය හොදින් ක්‍රියාත්මක වන බවත්ය.

     

    කසළ වෙන් කර ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කළ යුතු බවත් එසේ වෙන් කර ලබා ගන්නා කසළ අවසානයේ දී ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොමු කිරීම හා ජනතාව දැනුවත් කිරීම වැදගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොට්ඨාස දින රැස්වීමේ දී  ග්‍රාමීයව ජනතාව සමඟ සමීපව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම තුළින් වඩා හොඳ ප්‍රතිඵල අත්වන බවත් මෙම වැඩසටහන දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරියේ පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති නිලධාරීන්ගෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියේය.

     
    NDH/ME/kimico-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya