ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට දකුණු කොරියාවේ කැමැත්ත

    නොවැම්බර් 09, 2014
    ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සඳහා දකුණු කොරියාවේ ඉඩම් හා නිවාස සංස්ථාව (Korea Land And Housing Corporation – LH) කැමැත්ත පළ කරයි. 
     
    එහි ප්‍රධාන විධායක නිලධාරී ලී චයියොන්ග් (Lee,Jai – yeong) මහතා සහ දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වී සිටින ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර දකුණු කොරියාවේ සෝල් නුවර දී පසුගියදා පැවති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.
     
    ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ වන විට අත්කරගෙන ඇති ප්‍රගතියත් දැනට ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති පිළිබඳවත් විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහිදී දීර්ඝ විස්තරයක් කරන ලදී. 
     
    “2011 වසරට පෙර ශ්‍රී ලංකාවේ ඉදිකෙරුණු මුළු නිවාස සංඛ්‍යාව ලක්ෂයකට අඩුයි. නමුත් 2011 වසරේ සිට ශ්‍රී ලංකාවේ වසරකට ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව ලක්ෂ 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට අඩු පහසුකම් ජනාවාසවල ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති කිහිපයක්ම රජය මඟින් ආරම්භ කරලා තියෙනවා. දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් 28,000ක් පමණ රැකියාවල නිරත වෙනවා. එම පිරිසට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ නිවසක් ඉදිකරගැනීම. එම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලබන වසරේ සිට නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    දකුණු කොරියාවේ ඉඩම් හා නිවාස සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ලී චයි යොන්ග් මහතා කියා සිටියේ එවැනි නිවාස ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට තම ආයතනය සූදානම් බවත් ඒ පිළිබඳ ව ඉදිරියේ දී වැඩිදුරටත් සාකච්ඡා කර ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට කටයුතු කළ යුතු බවයි.
     
    ශ්‍රී ලංකාවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමඟ සම්බන්ධ වී මෙම ව්‍යාපෘති සිදු කිරීමට හැකි බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, උපදේශක ප්‍රශාන්ත ඩයස්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට 
    සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya