ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ප‍්‍රතිපත්ති විවරණය - 2014 නොවැම්බර්

    නොවැම්බර් 19, 2014

    මෑතක දී සිදු කරන ලද දේශීය බලශක්ති මිල ගණන් පහත හෙළීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2014 ඔක්තෝබර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය මාසයේ දී වාර්තා වූ 3.5% සමඟ සැසඳීමේ දී, 2009 නොවැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ අවම අගය වන 1.6%ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය ද 2014 සැප්තැම්බර් මාසයේ පැවති 4.2% සිට 2014 ඔක්තෝබර් මාසයේ දී 3.8%ක් දක්වා අඩු විය. මේ අතර, මනාව පාලනය කරන ලද ඉල්ලුම් පීඩනයෙහි බලපෑම පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය පෙර මාසයේ පැවති 3.7% සමඟ සැසඳීමේ දී 2014 ඔක්තෝබර් මාසයේ දී 3.6%ක් විය. ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩුවීම, එකතු කළ අගය මත බදු අනුපාතිකය 11%ක් දක්වා අඩු කිරීම වැනි අයවැය යෝජනා සහ යහපත් උද්ධමන අපේක්ෂා හේතුවෙන් ඉදිරි කාලයේ දී උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    රජය සහ පෞද්ගලික අංශය විසින් ලබාගත් බැංකු ණය වර්ධනය පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් (M2b) වර්ධනය පසුගිය මාසයේ දී පැවති 12.3% සමඟ සැසඳීමේ දී 2014 සැප්තැම්බර් මාසයේ දී 12.8%කින් වර්ධනය විය. වසරේ පළමු මාස නවය තුළ දී බැංකු පද්ධතිය මඟින් රජයට ලබා දුන් ශුද්ධ ණය රුපියල් බිලියන 87.3කින් ඉහළ ගිය අතර, රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් ණය රුපියල් බිලියන 1.2කින් අඩු විය. මෙම කාලපරිච්ඡේදය තුළ දී  බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 225.9 කින් ඉහළ ගියේය.

    ණය වර්ධනය අඛණ්ඩව දෙවන මාසයටත් පවත්වා ගනිමින්, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය 2014 සැප්තැම්බර් මාසයේ දී ඉහළ ගියේය. 2014 අගෝස්තු මාසයේ දී රුපියල් බිලියන 47.7කින් වැඩි වූ පෞද්ගලික අංශය විසින් වාණිජ බැංකුවලින් ලබාගත් ණය ප‍්‍රමාණය, සැප්තැම්බර් මාසය තුළ දී රුපියල් බිලියන 52.3කින් තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ පැවති 2.6% හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ දී ණය වර්ධනය 4.6%ක් විය.

    වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණය අනුව, වසරේ පළමු කාර්තු තුන තුළදී  කාර්මික සහ සේවා යන අංශ වෙත සැලකිය යුතු ණය ගලායෑමක් පිළිබිඹු විය. මේ අතර, මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵල වශයෙන් හා ඉදිරි කාලයේ දී ණය වර්ධනය සඳහා ශක්තිමත් අනුබලයක් සපයමින්, ජාත්‍යන්තර රත‍්‍රන් මිල ගණන් පහළ යෑම හේතුවෙන් උකස් අත්තිකාරම්වල සිදු වූ පසුබෑම මඟින් පෞද්ගලික අංශයේ ණය වර්ධනය කෙරෙහි ඇති කළ බලපෑම ක‍්‍රමිකව අඩු විය. මැදි කාලීන හා දිගු කාලීන ණය පහසුකම් සඳහා වන අනුපාතික ද ඇතුළත්ව වෙළෙඳපොළ පොළී අනුපාතික පහළ යෑම තුළින් ආර්ථිකයට ණය ගලා යෑම වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.

    විදේශීය අංශය සැලකූ විට, ප‍්‍රධාන වශයෙන් අපනයන ඉපැයීම්, සංචාරක, විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ සහ බැංකු අංශයට ලැබුණු අනෙකුත් විනිමය ලැබීම් ඇතුළු සමස්ත විදේශ විනිමය ගලා ඒම් හේතුවෙන් ශ‍්‍රී ලංකා රුපියල පුළුල් වශයෙන් ස්ථාවරව පැවතුණි. ඒ අනුව, 2014 ඔක්තෝබර් අවසානය වනවිට දළ නිල සංචිත ප‍්‍රමාණය ආනයනික මාස 5.3කට සමාන අගයක් ගනිමින් එ.ජ.ඩොලර් බිලියන 8.8ක් ලෙස සටහන් විය.

    මෙම පසුබිම තුළ, 2014 නොවැම්බර් මස 17 වැනි දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී දැනට පවතින මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව තීරණය විය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, දැනට පවතින 6.50% සහ 8.00% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. එවිට වෙළෙඳපොළ කටයුතු සඳහා සහභාගිවන්නන් නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා (SDF) ප‍්‍රවේශ වීම මත පනවන ලද සීමා තවදුරටත් පවතින අතර විට වෙළෙඳපොළ වෙන්දේසි අවශ්‍ය විට පැවැත්වෙනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya