ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මේ සාගර සම්පත් කළමනාකරණය කරමින් නිම්වළලු පුළුල් කිරීමේ කාලයයි

    නොවැම්බර් 25, 2014
    ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයේ ප්‍රමුඛයා වීමටත් එයට සැබෑ වූ දායකත්වය ගෙන දීමට හැකි ධීවර කර්මාන්තය තුළ ඇති සාගර සම්පත් කළමනාකරණය කරමින් එහි නිම්වළලු පුළුල් කිරීමට කාලය එළැඹ ඇති බවත් වැඩබලන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.
     
    ඒ තුළින් ඍජු හා වක්‍ර රැකියා බිහිකිරීමටත් ජීවනෝපාය සැලසීමටත් ආදායම් උත්පාදනය, විදේශ විනිමය ඉපයීමටත්, ග්‍රාමීය හා නාගරික ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමටත් සමත් වී ඇත. ඒ සඳහා මහා සාගරයේ අනන්‍ය ආර්ථීක කලාපයක් වශයෙන් ව.කි.මී. 517,000ක ද හෙක්ටයාර් 158,016 ප්‍රධාන කිවුල්දිය කලපු හා මෝයවල් ආශ්‍රිත කලාපයක් ද හෙක්ටයාර් 520,000කින් සමන්විත වාරි වැව්, නිත්‍ය ජලාශ, කාලීන ජලාශ පද්ධතියකින් සමන්විත මිරිදිය ජලාශ පද්ධතියකට හිමිකම් කීමට අපි වාසනාවන්ත වී ඇති බවත් අමාත්‍යවරයා කීය.
     
    සාගර සම්පත් අපගේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා දියහැකි කාර්යභාරය මැනවින් අවබෝධ කර ගත් ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මැතිතුමා ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප්‍රතිපත්තියේ සඳහන් කළ පරිදි සාගරය සමස්ත ජාතියට ම සම්පතක් කර ගන්නා බවට දුන් පොරොන්දුව අද යථාර්ථයක් වී ඇත. ඒ අනුව ධීවර කර්මාන්තයට පමණක් සීමා නොවී නාවුක, බලශක්තිය, වාණිජ, කර්මාන්ත මෙන් ම ඒ සඳහා යටිතල පහසුකම් මෙන් ම මානව සම්පත් දියුණු කරමින් අනාගතය ජයගන්නට කටයුතු කරන නිල් ආර්ථීකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් ඇති බව ද ඔහු පැවසීය.
     
    පසුගියදා ලෝක ධීවර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
     
    21 වැනි සියවසේ ප්‍රමුඛයා ලෙස මුළු ලෝකයෙන් ම ඉදිරියට එමින් ඇත්තේ ඉන්දියන් සාගර කලාපයයි. ඒ නිසා ම ආර්ථික වශයෙන් නැගී එන ආසියාවේ ආර්ථිකය තුළින් ශ්‍රී ලංකාවේ දියුණුව ලඟා කර ගැනීමට කටයුතු කරමින් වර්තමානයේ ඒ සඳහා නායකත්වය දෙන ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මැතිතුමා ප්‍රමුඛ අප රජය එයට නායකත්වය ගෙන දෙමින් ශ්‍රී ලංකාව අනාගත නිල් ආර්ථිකයේ ප්‍රමුඛයා කිරීමට පියවර ගනිමින් සිටී. එම නිසා ම සාගර සම්පත් මත්ස්‍ය නිෂ්පාදනයට පමණක් සීමා නොවී සියලු පැතිකඩයන් ඔස්සේ සංවර්ධන ජයග්‍රහණ ලබා ගනිමින් ඇත. 
     
    නාවුක ක්ෂේත්‍රය පුළුල් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඇති කොට ඒ ඔස්සේ නාවික ක්ෂේත්‍රය ජයගන්නටත් ඒ තුළ සේවාවන් සැපයීම මෙන් ම රැකියා බිහිකරමින් විදේශ විනිමය රටට ලබා ගනිමින් සිටී. තව ද රට වටා පිහිටි වරායවල් 20කට වැඩි ප්‍රමාණයකින් නාවික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් ඇත. ඒ හා සමගාමීව සංචාරක කර්මාන්තය පුළුල් කරමින් ලොවට ම නැති අපිට ම පමණක් වූ සුන්දර හා පිරිසිදු වෙරළ මූලික කරමින් ලොව සංචාරක ආකර්ෂණය ලබා ගනිමින් එම කර්මාන්තය ද දියුණු කරමින් සිටී. මේ සඳහා ශ්‍රී ලංකාව වටා කි.මී. 1,750ක වෙරළ තීරයක් අපට හිමි වී ඇති අතර ඒ ආශ්‍රිත කර්මාන්ත, රැකියා බිහිකරමින් මුහුදු සම්පත් නෙළා ගැනීමටත්, වෘත්තීය ඵලදායීතාව ඉහළ නැංවීමටත්, වෘත්තීය අභිමානය ඉහළ නැංවීමටත් ඒ ඒ ක්ෂේත්‍රයන් හි නිරත ව සිටින පුද්ගලයන්ගේ අභිමානය රැකගනිමින් ඔවුන් ශක්තිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියා කරමින් ඇත.
     
    මීට අමතරව මත්ස්‍ය සම්පත නෙළාගැනීමට පමණක් සීමා නොවී අප සාගරය ආශ්‍රිත ව ඇති මහා සම්පත් ප්‍රයෝජනයට ගැනීමට කාලය එළැඹී ඇති බවත් ඛනිජතෙල්, කාබනික, ගෑස්, රසායනික ද්‍රව්‍ය, ඛනිජ වැලි මෙන් ම ජෛව විවිධත්වයෙන් යුක්ත මහ සයුරේ සම්පත් මිල කළ නොහැකි බවත් එය දෙස අවධානය යොමුකොට එය රටේ සංවර්ධනයට යොදාගැනීමේ කාලය මේ බවත් සඳහන් කළ යුතු ව ඇත.
     
    විශේෂයෙන් ම ධීවර කාර්මාන්තය සහ ධීවරයා රැකගැනීම සඳහා ඉලක්ක වැඩපිළිවෙළවල් ගණනාවක් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ධීවර නිවාස, ධීවර ආම්පන්න සමඟ ඔවුන් සවිබල ගැන්වීම සඳහා ණය ආධාර ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. "දියවර දිරිය බැංකු ණය ව්‍යාපෘතිය" යටතේ සහන පොළී මත ණය ලබා දෙමින් සිටින අතර ඒ තුළින් ධීවර කර්මාන්තයට නව තාක‍්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා, නවීන පහසුකම් වගේ ම නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්න ගුණාත්මකව ගොඩබිමට ගෙන ඒමට මේ මඟින් අවශ්‍ය පහසුකම් ගෙන තිබෙනවා. ධීවර විශ්‍රාම වැටුප් වගේම ධීවර රක‍්ෂණය මේ වන විටත් ධීවරයා වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇත. ජාතික ධීවර මහා සම්මේලනය පිහිටුවා ඒ තුළින් ධීවර කාර්මිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට, පාසල් දරු දැරියන්ට ආධාර උපකාර කිරීමටත් ධීවර පවුල් ශක්තිමත් කිරීමටත් කටයුතු කරමින් සිටී.
     
    මහින්ද චින්තනය යථාර්ථයක් කරමින් ධීවර කර්මාන්තය අපේ රටේ ප්‍රධාන ආර්ථිකයේ ප්‍රමුඛයා වීම එක ම බලාපොරොත්තුව බවත් ඒ සඳහා 2014 ධීවර අමාත්‍යාංශය තුළින් බලාපොරොත්තු ඉලක්ක ජයගන්නට හැකි වීම සතුටට කරුණකි. අභිමානවත් රටක් අභිමානවත් ජාතියක් ලෙස මහා සංවර්ධනයක අරුණළු උදාවෙමින් ඇති මොහොතක එයට සැබෑ නායකත්වය ලබා දෙන ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමාගේ අධිෂ්ඨානාත්මක අරමුණ රට ආසියාවේ ආශ්චර්ය කරලීම බවත් එයට ප්‍රධාන ශක්තිය සාගර සම්පත් තුළින් ලබාදීම එකම බලාපොරොත්තුව බවත් සඳහන් කරනු කැමැත්තෙමි.
     
    ධීවර කර්මාන්තය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති මා මෙම ක්ෂේත්‍රයට කුඩා කළ සිට ම ආදරය කරන අයෙකි. එහෙයින් අනාගතය ජය ගන්නටත්, ධීවරයාටත් කර්මාන්තයටත් ඵලදායී ආකාරයෙන් වඩා යහපත් හෙට දිනයක් වෙනුවෙන් මා නිරන්තරයෙන්ම කැපවන බව ද සතුටින් යුතු ව සඳහන් කරමි යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya