ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    චන්ද්‍රිකාගේ සහ බෙදුම්වාදීන්ගේ කල්ලිය අතර කිසිදු වෙනසක් නැහැ

    නොවැම්බර් 29, 2014
    චන්ද්‍රිකාගේ කල්ලියයි බෙදුම්වාදීන්ගේ කල්ලියයි සමපාත බවත් මෙම බෙදුම්වාදී කණ්ඩායම් පසුගිය දිනවල සිදුකරන ලද ප්‍රකාශවලින් එක්සේසත් කළ රට නැවත බෙදා වෙන් කිරීමේ අරමුණ ජනතාවට මනාව පැහැදිලි වන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල  සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දිවි නැගුම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාවට නංවනු ලබන ඉසුරුමත් නිවහනක් ජාතික වැඩසටහන යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවි නැගුම ප්‍රතිලාභී පවුල්  5211ක් සඳහා  නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ  සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගී වෙමිනි. මෙම උත්සවය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (28) මාලඹේ, අරංගල,  10 කණුව "නිමිකෝ" ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී ජනාධිපතිවරණයට එන විට එදා කකුලෙන් ඇදපු චන්ද්‍රිකා නෝනා ම තමයි අදත් කකුලෙන් අදින්නේ. එදා චන්ද්‍රිකා නෝනා කකුලෙන් අදින ගමන් අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශ්ව සමඟ කුමන්ත්‍රණ කළා. එහෙම වෙලාවක වැඩි ඡන්ද 90,000කින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එදා ජනාධිපති ධූරයට පත්වුණේ. ඒ වැඩි ඡන්ද 90,000 නොලැබුණා නම් අද අපට තියෙන්නේ එක රටක් නොව දෙකඩ වුණු රටක්. එහෙම වුණා නම් රට ජාතිය වෙනුවෙන් සටන් කරන මේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවෝ පෝලිමේ තවමත් මැරෙන්න ඉඩ තිබුණා".
     
    "එදා චන්ද්‍රිකා  නෝනා සුනාමි සහන මණ්ඩලය කොටි සංවිධානයට දෙන්න ගියා. ඒ මඟින් ලෝකයේ ණය දෙන ආයතනවලින් කොටින්ගේ ඊනියා පාලන ප්‍රදේශවල ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් කෙලින් ම ණය ආධාර ගන්න හැකිවෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීන්දුවක් අරගෙන එදා චන්ද්‍රිකා නෝනා දෙන්න ගිය ඒ සුනාමි සහන මණ්ඩල යෝජනාව අහෝසි කළා" යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිවි නැගුම ප්‍රතිලාභී පවුල් වෙත නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා මූල්‍යාධාර සැපයීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.  මේ යටතේ  කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දිවි නැගුම ප්‍රතිලාභී පවුල් 5211ක් සඳහා පළමු අදියර යටතේ රුපියල් මිලියන 1.3ක් වටිනා නිවාස මුල්‍යාධාර මෙදින ප්‍රදානය කෙරිණ. ඊට අමතර ව අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්වයං රැකියා උපකරණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල නාගරික මන්ත්‍රීවරුන් වන මනෝජ් බෙත්මගේ, දීපාල් හෙට්ටිආරච්චි, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්. දයාවතී, දිවි නැගුම ප්‍රාදේශීය නිලධාරිනී මල්ලිකා කුලතුංග යන මහත්ම මහත්මීහු රාජ්‍ය නිලධාරීහු, ප්‍රතිලාභීහු සහ ප්‍රදේශවාසීහු  ඇතුළු විශාල පිරිසක්  සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya