ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “එ.ජා.ප. රජය එදා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ දුන් නිසා කැබිතිගොල්ලෑව අහිංසක ජනතාවට ජීවිත අහිමි වුණා.”

    දෙසැම්බර් 01, 2014

    පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත කොටි ත්‍රස්තවාදීන්ට තොග පිටින් ආයුධ ලබාදුන් නිසා කැබිතිගොල්ලෑව අහිංසක ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූ බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය, නිදහස් මව්බිම නැවතත් එවැනි අවාසනාවන්ත යුගයකට පත් කිරීමට උත්සහ දරන බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     

    කැබිතිගොල්ලෑව, කිවුලේකඩ ඊයේ (30) පැවති මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

     

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ යුත්තේ ඇයි යන තේමාව යටතේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවති මෙම විශේෂ රැස්වීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කමලා රණතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාන්තා බල මණ්ඩලයේ නියෝජිතයින් ද පැමිණ සිටියහ.

     

    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා,

     

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ප්‍රතිපත්තිගරුක පක්ෂයක්. ඒ වගේම ප්‍රතිපත්තිගරුක සාමාජිකයන් තමයි මේ පක්ෂයේ ඉන්නෙත්. ඔවුන්ගේ ඡන්දයෙන් බලයට ඇවිත් කෝටි ගණන් මුදල් වලට ගිජුකමින් පක්ෂය දාලා ගියොත් අර සාමාජිකයන්ගේ ශාපය වදිනවා. විශේෂයෙන් මැදවච්චිය ආසනය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ දෙමව්පියන්ට වගේ ආදරය සෙනෙහස දක්වන ජනතාවක් සිටින මැතිවරණ බල ප්‍රදේශයක්. එවැනි ගෞරවනීය ජනතාවගේ නියෝජිතයා ලෙස මටත් ප්‍රතිපත්තියක් ආරක්ෂා කළ යුතුව තිබෙනවා.

     

    පසුගිය 2010 ජනාධිපතිවරණයේ දී මැදවච්චිය ආසනය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමන්ට වැඩිම ප්‍රතිශතය ලබා දුන්නේ. මෙවරත් එය තවත් වැඩිකර නැවතත් මේ රටේ නායකත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ලබාදීමට මැදවච්චිය ආසනය ඇතුළු සමස්ත රජරට ම පෙළ ගැසී සිටිනවා.

     

    ඇතැම් පිරිස් මේ පක්ෂයෙන් ගියේ පුද්ගලික වාසි බලාගෙනයි. අපටත් ප්‍රශ්න තිබෙනවා. ගෙදරක වුනත් ප්‍රශ්න තිබෙනවා. එහෙම කියලා අල්ලපු ගෙදරට යනවද? එහෙම සංස්කෘතියක් අපේ නැහැ. ප්‍රශ්න තිබෙනවා නම් ඒවා සාකච්ඡා කර විසඳාගත යුතුයි. ඒ වගේ ම ඉවසීමත් ප්‍රශ්නවලට හොඳ පිළිතුරක්.

     

    ජනතාව අපට බලය දෙන්නේ කාටවත් විකිණෙන්න නෙවෙයි. රටේ නායකත්වය සමඟ සිටිමින් සේවය කිරීමටයි. අද පොදු අපේක්ෂකයට සහය දෙන්න යන මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට බටහිර රටවලින් ලැබුණ ඩොලර් කෝටි ගණන් ලැබෙනවා. හැබැයි කවදහරි ජනතාවගේ ශාපයට ලක්වෙන්නත් සිදුවෙනවා.” යැයි ද පැවසීය.

     

    එම රැස්වීම ඇමතූ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක විරාගන්නොරුවේ අනුරුද්ධ නාහිමියන්,

     

    “රට තුළ තිබූ බියගරු යුගය නිමාකර හරියට හුස්ම ගන්න ඉඩ ලබාදුන්නේ ජනාධිපතිතුමායි. එදා වව්නියාවෙන් එහාට යන්න තිබුණේ වීසා අරගෙන වෙනත් රටකට යනවා වාගෙයි. ජනාධිපතිතුමන්ගේ අභීත නායක්වය තුළින් ලබාදුන් නිදහස බුක්ති විඳිමින් අද බලය ඉල්ලනවා. මෙය ජාතිය පාවාදීමක් ලෙසයි රජරට අපි හිතන්නේ.

     

    එදා මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මහා සංඝරත්නයට පවා ආරක්ෂක මුර කපොලුවල දී පරීක්ෂාවට ලක්වෙන්න සිදුවුණා. ඒ වගේ මුළු රටේම ජනතාව විශාල දුක් කන්දරාවත් වින්දා. අද එහෙම නැහැ. නමුත් අද ඒක ඇතැමුන්ට අමතකයි. පක්ෂය දාලා ගිය අය රටට ආදරය කරන අය නෙමෙයි. ජනතාවට ‍‍‍සේවය කරන්න ජනාධිපතිකමම, අගමැතිකමම අවශ්‍ය නැහැ. රටට වැඩ කරන්න මන්ත්‍රීකමත් ඇති.

     

    මේක විශාල කුමන්ත්‍රණයක් වගේම මේ රටේ සිදු වූ විශාලම දේශපාලන කොන්ත්‍රාත්තුවත් මේකයි. නමුත් ඔය සියලු දේට වඩා මේ රටේ බුද්ධිමත් ජනතාවගේ කතිරය ප්‍රබලයි. ඒක නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතත් මේ රටේ නායකත්වයට පත්වීමට සියලු ආගම්වල වගේම සියලු ජනතාවගෙත් ආශිර්වාදය ලැබෙනවා.” යැයි ද ප්‍රකාශ කළේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රිනි කමලා රණතුංග මහත්මිය ද එම අවස්ථාවේ දී සිය අදහස් පළ කළේය;

     

    “මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගියේ එතුමාගේ බිරිඳ, දරුවන්ගේ ඉල්ලීම නිසා බව එතුමා විසින් ම ප්‍රකාශ කළා. ඒකෙන් තේරෙන්නේ ඔහු ජනතාවට අවශ්‍ය දේ නෙවෙයි පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දෙයයි කරන්නේ. පක්ෂයේ සාමාජිකයන් ඔහුට යන්න කීවේ නැහැ. ඒ නිසා නියම ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ ජනාධිපතිතුමා දිනවීමටයි.

     

    කිරි පොවා ඇති දැඩි කළ තමන්ගේ මව වගේ තිබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙද්දී චන්ද්‍රිකා මැතිණිය වෙනත් පක්ෂ හැදුවා. ඒ පක්ෂවලට ගොස් සිරිමාවෝ මැතිණිය විවේචනය කළා. මැතිණිය විශාල ලෙස දුක්වුණා. ඇඬුවා. එතුමියගේ ළඟින් ම සිටි කෙනෙක් හැටියට මම ඒ සියලු දේවල් දන්නවා.

     

    අතීතය මතක තිබෙන ජාතියක් මේ රටේ සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතක වුණා. රාජපක්ෂවරු හොරකම් කළේ නැහැ. ඔවුන් ගෙදර තිබුණ දේත් ජනතාවට බෙදුව පිරිසක්. අයිය මලෝ එකතු වුණේ නැත්තන් මේ කෲර යුද්ධය ඉවර කරන්න බැරි වෙනවා.

     

    උපාධිධාරීන් 54000කට එකවර පත්වීම් දුන් ජනාධිපතිතුමාට සමස්ත රාජ්‍ය සේවකයන්ගේ ආශිර්වාදය ලැබෙනවා. රට පාවා දී, බටලන්ද වධකාගාර ඇති කළ රනිල්ව අගමැති කරන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කවදාවත් ඡන්දය දෙන්නේ නැහැ.

     

    මහින්ද රාජපක්ෂ මැතිතුමා විධායක බලය යොදා රටට අහිතකර කිසිම දෙයක් කළේ නැහැ. ඒ බලය යොදා කළ එකම දෙය යුද්ධය ජයග්‍රහණය කරවීමයි. ඒක වැරදිද? හෙටත් රටට අවශ්‍ය කොන්ද නමන නායකයෙක් නෙවෙයි කොන්ද කෙලින් සිටින නායකයෙක්. ඒ එක ම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමා එදත්, අදත්, හෙටත් මේ රටේ නායකයා ම තමයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කමලා රණතුංග මහත්මිය කියා සිටියේය.

     

    උතුරු මැද පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති කේ.එච්.නන්ද‍සේන මහතා ද මෙහි දී අදහස් දැක්වීය.

     

    උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද මහත්මිය ඇතුළු රඹෑව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය යන නගරවල ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු හා මන්ත්‍රීවරු  ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීහු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya