ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජ.වි.පෙ. ජනාධිපතිවරණ න්‍යාය ඇමැති විමල් පහදයි

    දෙසැම්බර් 05, 2014
    "අන්න සතා මෙන්න පොල්ල මං සිල්ගත්තා" යනුවෙන් කියමනක් අපේ පැරණි ගම්වල තිබුණා, ඉන් කියවුණේ තමා සතා නොමරා වෙන කෙනෙකු ලවා සතා මරා තමා පාපයෙන් නිදහස් වීම බවත් ජනතා විමුක්ති පෙරමුණත් මෙවර ජනාධිපතිවරණයේ දී අනුගමනය කරන්නේ අන්න සතා මෙන්න පොල්ල මං සිල්ගත්තා යන න්‍යාය බව, ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා  පැවසීය. 
     
    ඔවුන් දන්නවා සතාට ගහලා මැරුවොත් ඒක පාපයක් කියලා. ඒත් ඒ සතාව මරන්නත් ඕනා. ඒ නිසා ඔවුන් අන්න සතා මෙන්න පොල්ල මං සිල්ගත්තා කියලා සිල් ගන්නවා. එතකොට ඒක අහගෙන හිටපු අහිංසකයෙක් ඇවිත් පොල්ලෙන් ගහලා සතාව මරණවා. අවසානයේ පාපය යන්නේ පොල්ලෙන් ගහපු කෙනාගේ නමට යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දින 180ට වඩා සේවය කළ කොන්ත්‍රාත්, අනියම් හා අදේශක පදනම්වල සේවයේ නියුතු ව සිටි සේවක මහත්ම මහත්මීන් 468 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මෙම උත්සවය ඊයේ (04) මාලිගාවත්ත ප්‍රදීපා ශාලාවේ දී පැවැත්විණි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "දැන් කවදා හරි මේ සතා මැරීමේ පාපය විභාග කරන්න යම රජ්ජුරුවෝ ආපු වෙලාවක අර සිල්ගත්ත මිනිහා එරමිණිය ගොතාගෙන ඉන්නවා. එහෙම ඉඳලා ඔහු කියනවා ස්වාමීනී මම ඒකට සම්බන්ධ නැහැ. මම ඒ වෙලාවේ සිල් රැක්කා කියලා". 
     
    "ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් අන්න සතා, මෙන්න පොල්ල, මං සිල්ගත්තා කියන ස්ථාවරයේ හිටපු පක්ෂයක් නොවෙයි. හරි හෝ වැරදි, පුළුවන් හෝ බැරි, අන්න සතා ගනිං පොල්ල යං ඌව මරන්න කියපු පක්ෂයක්. ඇයි දැන් ජනතා විමුක්ති පෙරමුණ අන්න සතා මෙන්න පොල්ල මං සිල්ගත්තා කියන මාර්ගයේ ඉන්නේ? පාඨලී චම්පික මහත්තයා කියනවා අපි මේකත් එක්ක ඉන්නේ දින 100 යි කියලා. එතකොට හෙළ උරුමය මේකට දින 100ක රක්ෂණ සහතිකයක් තමයි දෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඒ දින 100ක රක්ෂණයවත් දෙන්නේ නැහැ.  ඒ ගොල්ලෝ දන්නවා අන්න සතා මෙන්න පොල්ල මං සිල්ගත්තා කියලා ඉන්නේ නැතුව පොල්ල අරන් ගහලා සතා මැරුවොත් සතා මැරෙනවා විතරක් නොවෙයි රටත් අරාජික වෙනවා. එතකොට ඒ පාපයට ඔවුන්ටත් කරගහන්න වෙනවා කියන කාරණය". 
     
    අද විරුද්ධ පක්ෂය නැති ලෙඩකට බෙහෙත් හදලා ඒ ගොල්ලො කියනවා අපි තමයි හොඳ ම වෙද්දු කියලා. මෙතන ඉන්නවා හිටපු දොස්තරවරියක්. එයාට එම්.බී.බී.එස්. විතරක් නෙමෙයි තියෙන්න ඕන එස්. සේරම තියෙනවා. එයාට ලෙඩා හම්බුවෙන්න එපොයිමන්ට් එක උදේ දුන්නොත් හවසට තමයි හමුවෙන්න වෙන්නේ. ඒ දොස්තර නෝනා ධූර කාල 2ක් අවුරුදු 10ක් වෙදකම් කළා. එයා කියව කියවා ඉන්න නම්, හොඳ දොස්තර නෝනා. එයාගේ ඇඟ හැමතැනම මොළේ. දළ දේශීය ආදායම අනුව ගත්තොත් මේ කලාපයේ රටවල්වලින් මාල දිවයිනට පමණයි අපි දෙවෙනි වෙන්නේ.  සංචාරක කර්මාන්තය නිසා මාල දිවයින අපිට  වඩා ආර්ථික අතින් ඉදිරියෙන් සිටිනවා. දළ දේශීය ආදායම ඩොලර් 4000ට වඩා වැඩියි කිව්වහම හැම මිනිහටම ඩොලර් 4000කට වඩා තියෙනවා කියලා ඒ තුළින් කියවෙන්නේ නැහැ. ඒත් අපි කොතනද ඉන්නේ කියලා බලාගන්න ඒක හොඳ නිර්ණායකයක්. අපි ඒ තත්ත්වයට ආවේ ගැටුම් අවසන් කරගත්තට පස්සේ. ඒ නිසා අපි මේ වන විට අපිට මෙතුවක් කල් අත්හැරුණු ඒත් විය යුතුම සටන වෙනුවෙන් කටයුතු කරනවා. ඒ තමයි අපි ගැටුමේ පැටලී සිටියදී  අපව පසුකර ගිය රටවල් හඹාගොස් ඒ රටවල් අබිබවා යාමේ සටන.
     
    මේ ආණ්ඩුවට කියන්න  වරදක් නැහැ.  මේ ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණනවා කියන්නද?  රාජ්‍ය අංශය හකුලනවා කියන්නද? රට බෙදනවා කියලා කියන්නද?  රට විකුණනවා, රට නැති කරනවා කියලා කියන්නද? එහෙම කියන්න බැහැ. ඒ නිසා ඔවුන් අවශ්‍යතාවක් නිර්මාණය කළ යුතුයි. ඔවුන් හදාගත්ත ප්‍රශ්නය තමයි ප්‍රජාතන්ත්‍රවාදය  මදි කියන ප්‍රශ්නය.  තරු පහ මදිලු, තරු හත ඕනලු යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" ප්‍රකාර ව 2015 අය - වැය යෝජනාවලියට අනුව දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කළ කොන්ත්‍රාත්, අනියම් හා ආදේශක පදනම්වල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් ස්ථීර සේවයට බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ස්ථීර සේවා පත්වීම් ප්‍රදානය කෙරිණ.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ  ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා,  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සභාපති  ජයන්ත සමරවීර, එහි උප සභාපති ඒ.ඩබ්. දයානන්ද, සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ක්‍රියාකාරී අධ්‍යක්ෂ නිමල් ප්‍රේමවංශ යන මහත්වරු, නිලධාරීහු, පත්වීම්ලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya