ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    "පොඩිසිංඤෝ මරං" නමැති වල් පැළෑටියෙන් තර්ජන

    දෙසැම්බර් 06, 2014
    මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක පැතිර යන වල් පැළෑටියක් නිසා ප්‍රදේශවාසීන් විශාල අපහසුතාවකට පත්ව තිබේ.  "පොඩි සිංඤෝ මරං" යනුවෙන් ගැමි ජනතාව හඳුන්වන මෙම වල් පැළෑටිය නිසා වගා කටයුතු පමණක් නො ව සත්ත්ව පාලන කටයුතු ද අඩාල වී තිබේ. 
     
    මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු‍වේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය පැවසුවේ මෙම වල් පැළෑටිය නිසා වැඩි ම අපහසුතාවකට පත්ව ඇත්තේ ගව පාලනයේ යෙදෙන පිරිස බවයි. 
     
    ආක්‍රමණකාරී වල් පැළෑටියක් වන මෙම වල් පැළෑටිය නිසා ගවයන්ගේ ආහාර පිණිස අවශ්‍ය වෙනත් තණකොළ වර්ග වඳව ගොස් ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ගවයන්ට තණකොළ නොමැති නිසා සත්ත්ව පාලනයේ යෙදෙන පිරිස දැඩි අපහසුතාවට පත් ව ඇති බවද පැවසුවාය. ගවයන්ගේ ආහාර පමණක් නො ව කෘෂිකාර්මික කටයුතුවලදී ද මෙම වල් පැළෑටිය විශාල තර්ජනයක් බව පැවසූ පන්විල ප්‍රාදේශීය ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා විසින් ඉතා ඉක්මනින් මේ සඳහා සුදුසු විසඳුමක් ලබා දෙන ලෙස මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති සහ මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලා සිටින ලදී. 
     
    කමිටුවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් දිසාපතිවරයා මේ පිළිබඳ සොයා බලන ලෙසත් වල් පැළෑටිය මැඬලීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග වෙතොත් ඒ පිළිබද ක්ෂණික විසඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසත් මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය වයි. කැටිපේආරච්චි මහතා වෙත දැනුම් දෙන ලදී. මෙම වල් පැළෑටිය යොදා ගෙන කාබනික පොහොර නිපදවිය හැකි බවට මත පළ වී ඇති බව පෙන්වා දුන් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ ඉදිරියේදී තොරතුරු ලබා දෙන බව කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.
     
    මහනුවර දිසාපති එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරු සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිලධාරීහු ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.
     
    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya