ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඛනිජතෙල් මිල දී ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම

    දෙසැම්බර් 11, 2014

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ස්වකීය මිල දී ගැනීම් කටයුතු කරනු ලබන්නේ රජය විසින් අනුමත කළ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් මත පදනම් වෙමින් බවත් ඒ අනුව අන්තර් රාජ්‍ය පදනමින් තෙල් සැපයුම්කාර රාජ්‍ය සමාගම්වලින් මෙන් ම ටෙන්ඩර් ක‍්‍රියාපටිපාටිය මඟින් ජාත්‍යන්තර තෙල් සැපයුම්කාර සමාගම්වලින් ඉන්ධන මිල දී ගැනීම් සිදු කරනු ලබන බවත් ඛනිජතෙල් අමාත්‍යාංශය පවසයි.


    ඛනිජතෙල් මිල දී ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳ ව ජනතාව නොමග යන ආකාරයේ සාවද්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මඟින් ප‍්‍රචාරය කරන නිසා ඛනිජතෙල් මිල දී ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කළේය.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ප‍්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික කමිටුවක් මඟින් සිදු කරනු ලබන ඇගයීම් ක‍්‍රියාවලියක් මත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ඛනිජතෙල් මිල දී ගැනීම සිදු කරනු ලබයි. ඛනිජතෙල් පිළිබඳ ව පවතින ජාත්‍යන්තර උපනතීන්, රටේ පවතින ඉන්ධන අවශ්‍යතාවන් සහ ගබඩා කිරීමේ ධාරිතාවන් යනාදී කරුණු සලකා බලා ක්ෂණික මිල දී ගැනීම් වශයෙන් හෝ දිගුකාලීන ගිවිසුම් ගත මිල දී ගැනීම් වශයෙන් ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සිදු කරනු ලබයි.  

    2014 වර්ෂයේ දී අවස්ථා කීපයක් හැරුණු කොට ප‍්‍රධාන ඛනිජතෙල් නිෂ්පාදන සියල්ල ම දිගුකාලීන ගිවිසුම් මත ජාත්‍යන්තර තෙල් සැපයුම්කාර ප‍්‍රධාන සමාගම්/රාජ්‍ය ආයතනවලින් මිල දී ගැනීමට කටයුතු කර ඇත. පවතින ඉල්ලුම සහ සැපයුම අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළෙ හි ඛනිජතෙල් නිෂ්පාදන මිල ගණන් නිරතුරුව උච්චාවචනය වේ. එබැවින්  ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුව එකඟ වූ මිල ගණන් යටතේ දිගුකාලීන පදනමක් මත ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම මඟින් රටේ තෙල් සැපයුම ස්ථාවර කරගැනීමට මෙන් ම රටේ ඉන්ධන සුරක්ෂිතතාව තහවුරුකර ගැනීමටත් සංස්ථාවේ ලාභදායීත්වය වැඩිකර ගැනීමටත් අවස්ථාව සැලසී ඇත. ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය මත ඉතාමත් විනිවිදභාවයකින් යුතුව මෙම කාර්යන් සිදු වන අතර එක් එක් කාල වකවානුවලට අනුකූල වන පරිද්දෙන් සංස්ථාවට වඩාත් ලාභදායි ආකාරයට ඛනිජ තෙල් මිල දී ගැනීම සිදුකරනු ලබයි. 

    බොහෝ අවස්ථාවල ඉන්ධන මිල දී ගැනීම් ක‍්‍රියාවලියේදී පදනම් මිල දර්ශකය ලෙස යොදාගනු ලබන්නේ සිංගප්පූරු ප්ලැට් (Singapore Platts) මිල දර්ශකය යි. මෙයට අමතරව අදාළ පරිදි මැදපෙරදිග රටවල මිල දර්ශක ද යොදාගනු ලබයි. ජාත්‍යන්තර ඛනිජතෙල් නිෂ්පාදන වෙළෙඳපොළෙ හි ඉල්ලුම් හා සැපසුම් තත්ත්වයන් යටතේ එම මිල දර්ශකවලින් ප‍්‍රකාශිත මිල ගණන් ස්වාධීනව තීරණය වේ. එවැනි මිල දර්ශකයක් ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා පදනම් මිල දර්ශකය ලෙස අප ද භාවිත කරනු ලැබේ. ඒ අනුව මිල දී ගැනීමේ දී ඇනවුම් කරන ලද ඛනිජතෙල් තොගය නැව්ගත (Bill of Lading) කරන දිනයේ දී පවතින Platt අගය එම ඛනිජතෙල් තොගය මිල දී ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙවනු ලැබේ. ඛනිජතෙල් සංස්ථාව විසින් දිගුකාලීන ගිවිසුම් අනුව තෙල් මිල දී ගැනීමේ දී ගිවිසුමට අනුව කිසියම් දිනක දී ඛනිජතෙල් තොගයක් ඇනවුම් කළ විට එයට අදාළ ගෙවීම සිදු කරනු ලබන්නේ තෙල් තොගය පැටවූ අවස්ථාවේ පවතින Platt අගය අනුවයි.

    විවිධ මාධ්‍ය මඟින් ඛනිජතෙල් මිල දී ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් සාවද්‍ය එමෙන්ම ජනතාව නොමග යවන පදනම් විරහිත කරණු දක්වන අවස්ථා පවතී. මේ කරුණු දැක්වීම් තුළින් උත්සාහ කරනුයේ යම් එකඟ වූ මිලක් යනු ස්ථාවර මිලක් යන්නත් ඒ නිසා දිගුකාලීන මිලදී ගැනීමේ ගිවිසුම් නිසා මිල අඩුවීමේ වාසිය ඛනිජතෙල් සංස්ථාවට නොලැබී ඇති බව ඒත්තු ගැන්වීම සඳහා යි. දිගුකාලීන තෙල් මිල දී ගැනීමේ ක‍්‍රියාවලිය නිසා ක්ෂණික (Spot) තෙල් සැපයුම්කාර ආයතනවලට සහ පුද්ගයන්ට ආර්ථික වශයෙන් විශාල අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැව් පොදුවේ දන්නා කරුණකි. මේ නිසා එවැනි පාර්ශවයන් ඛනිජතෙල් මිල දී ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ ව සාවද්‍ය තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම විය හැකි තත්ත්වයකි. දිගුකාලීන මිල දී ගැනීම් යනු මාස 06 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ගිවිසගත් ආයතනයකින් අඛණ්ඩව තෙල් මිල දී ගැනීමයි. එකඟ වූ මිල යනු තෙල් නැව්ගත කරන දින වකවානුවේ ලෝක වෙළෙඳපොළේ සලකා බලන මිල දර්ශකයේ මිලයි. එය ස්ථාවර මිලක් නොව වෙනස්වන මිලකි. එබැවින් දිගුකාලීන ගිවිසුම් මඟින් තෙල් මිලදී ගැනීමේ දී ලෝක වෙළෙඳපොළ මිල පහළ බැස්මක වාසිය ඛනිජතෙල් සංස්ථාවට අනිවාර්යයෙන්ම හිමි වේ.

    ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඛනිජතෙල් සංස්ථාව විසින් ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල ගණන් නිරතුරුව විමර්ශනය කරනු ලබයි. ලෝක වෙළෙඳපොළ ඛනිජතෙල් මිල ගණන් දිගු කාලීනව අඩුවීමේ ප‍්‍රවණතාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු 2012.07.17 දින ඛනිජතෙල් මිල අඩු කරන ලදී. තවදුරටත් ලෝක වෙළෙඳපොළ ඛනිජතෙල් මිල අඩුවීමේ ප‍්‍රවණතාවක් නිරීක්ෂණය වූයෙන් පසුගිය 06 දින සිට ක‍්‍රියාත්මක වන පරිසි යළිත් ඛනිජතෙල් මිල අඩු කරමින් ලෝක වෙළෙඳපොළ ඉන්ධන අඩුවීම නිසා අත්වූ වාසිය ඉන්ධන පාරිභෝගියකයන් වෙත ලබාදීමට ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya