ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ප‍්‍රතිපත්ති විවරණය - 2014 දෙසැම්බර්

    දෙසැම්බර් 15, 2014
    පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය වර්ධනය අඛණ්ඩව තෙවන මාසයටත් පවත්වා ගනිමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2014 ඔක්තෝබර් මාසයේ දී 5.1%කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.


    නිරපේක්ෂ වශයෙන් ගත් කළ, මාසය තුළ දී ණය ඉහළ යාම රුපියල් බිලියන 42ක් වන අතර ඉන් රුපියල් බිලියන 36ක් දේශීය බැංකු ඒකක මඟින් ලබා දෙන ලද ණය විය. 2013 වසරේ මුල් කාලයේ සිට දක්නට ලැබුණු උකස් අත්තිකාරම් පහළ යාම මඟින් සමස්ත ණය වර්ධනය කෙරෙහි ඇති කරන ලද බලපෑම මේ වන විට අවසන් වී ඇත. පෞද්ගලික අංශයේ ණය වර්ධනය යථා තත්ත්වයට පත් වුව ද, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් අඩුවීමෙ හි ප‍්‍රතිඵලයක් ලෙස පුළුල් මුදල් වර්ධනය 2014 ඔක්තෝබර් මස දී  11.5%ක් දක්වා මන්දගාමී වී ඇත. වසරේ පළමු මාස දහය තුළ පුළුල් මුදල් සැපයුමෙහි සාමාන්‍යය  13.3%ක් විය.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය අඛණ්ඩව 70 වන මාසයටත් තනි අංකයක මට්ටමේ පැවති අතර පසුගිය මාස 12 තුළ දී එය 5%ට අඩු මට්ටමේ පැවතුණි. දේශීය ඉන්ධන සහ විදුලි ගාස්තු පහළ දමමින් සිදු කරන ලද මිල සංශෝධනයන් හේතු කොට ගෙන 2014 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය පිළිවෙලින් 1.6%ක් සහ 1.5%ක් වැනි පහළ අගයක පැවතුණි. මේ අතර උද්ධමනයේ අභ්‍යන්තර ප‍්‍රවණතාවන් වඩාත් පිළිබිඹු කරන, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය 2014 නොවැම්බර් මාසයේ දී 3.6%ක මට්ටමේ නොවෙනස්ව පැවතුණි. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මෑතකදී සිදු වූ තෙල් මිල ගණන් පහළ යාම උද්ධමනයට සහ උද්ධමන අපේක්ෂාවන් කෙරෙහි ශුභවාදී ව බලපානු ඇත. ආනයනික බලශක්ති ප‍්‍රභවයන් මත ශ‍්‍රී ලංකාව දැඩි ලෙස පදනම් වන තත්ත්වයක් යටතේ, බලශක්ති මිල ගණන් පහළ යාමේ ප‍්‍රතිඵලයක් ලෙස උද්ධමනය පහළ යාම, දේශීය වශයෙන් ආර්ථික කටයුතු ප‍්‍රසාරණය වීම කෙරෙහි අනුබලයක් සපයනු ඇත.

    අපේක්ෂා කළ පරිදි වසරේ දෙවන අර්ධය තුළ ඉහළ ආර්ථික වර්ධනයක් සිදු වනු ඇති බවට ප‍්‍රමුඛ දර්ශක මඟින් පෙන්නුම් කර ඇත. රජය සහ මහ බැංකුව විසින් වසර පුරාම ගනු ලැබූ ඉදිරි දැක්මකින් යුත් ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග හේතුවෙන් අහිතකර කාලගුණික තත්ත්වයන් හමුවේ වුව ද වසර සඳහා වන අපේක්ෂිත වර්ධන පුරෝකථනයන් ළඟාකර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ආර්ථිකය තුළ අවශ්‍ය පසුබිම සැකසී ඇත. සාර්ව ආර්ථික මූලධර්මයන්ගේ නොකඩවා සිදු වන වර්ධනය තුළින් සිදු වන වෙළෙඳපොළ විශ්වාසය ඉහළ යාම හා හිතකර ආයෝජන මතයන් තවදුරටත් තහවුරු වීම තුළින් මෑතකාලීනව ඉහළ තිරසාර ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වනු ඇත. විදේශ අංශය සැලකූ කළ, විචලනය වන ගෝලීය තත්ත්වයන්, විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම සහ මුදල් තත්ත්වයන් හි ලිහිල්කරණයන් හේතුවෙන් 2014 ඔක්තෝබර් මස වෙළෙඳ හිඟය තරමක් දුරට පුළුල් වී ඇත. එසේ නමුත්, සංචාරක කර්මාන්තයෙන් මෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ මඟින් දැනට ලැබෙන සහ අපේක්ෂිත ඉපැයීම් මෙන්ම මූල්‍ය ගිණුම් හි ලැබීම් හේතුවෙන් පෙර වසරට වඩා ගෙවුම් තුලනයෙහි ඉහළ අතිරික්තයක් 2014 හි දී වාර්තා කරනු ඇතැයි පුරෝකථනය කෙරේ. ඒ අනුව, දළ නිල සංචිත 2014 වසර අවසානය වන විට යහපත් මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. 

    ඉහත කරුණු සැලකිල්ලට ගෙන 2014 දෙසැම්බර් මස 11 වැනි දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී දැනට පවතින මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව තීරණය විය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින්, දැනට පවතින 6.50% සහ 8% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) ද 6%ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

    මීළඟට නියමිත මුදල් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නිකුත් කරනු ලබන දිනය යථා කාලයේ දී ප‍්‍රකාශයට පත් කරනු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya