ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිවිධ හමුදා සෙබළු 20,000ක් පමණ ආපදා සහන කටයුතුවල

    දෙසැම්බර් 29, 2014
    දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයන් රඳවා සිටින සහන කඳවුරු 409ක් සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් 20,000ක පමණ පිරිසක් සහන සේවා කටයුතුවල නිරත වී ඇතැයි ජාතික ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) එම මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    සිවිල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි කඳවුරුවල සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව නිරත වී ඇති බවත් හමුදා සහය නොලැබෙන වෙනත් කඳවුරු ඇත්නම් ඔවුන්ට ද ත්‍රිවිධ හමුදාවේ සහය ලබාදීමට හැකියාව පවතින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
     
    "ගංවතුර තත්ත්වය බලපා ඇති ප්‍රදේශවල එම තත්ත්වය පහව ගොස් තිබුණ ද එම නිවාසවල ජනතාව කඩිනමින් පදිංචි කළ නොහැකියි. ජනතාව පදිංචි කිරීමට අවශ්‍ය නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු සියලු කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහයෙන් යුතු ව සිදු කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතර ම එම ප්‍රදේශවල සමීක්ෂණ කටයුතුවලට මෙන් ම තොරතුරු ලබාගැනීමේ කටයුතු සඳහා ද ත්‍රිවිධ හමුදා සෙබළුන් යොදවා ඇත". 
     
    "යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අස්ථාවරත්වයට පැමිණ ඇති වැව් යළි පිළිසකර කිරීම, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, පානීය ජලය ලබාගන්නා ස්ථාන වන ළිං වැනි ස්ථාන ප්‍රතිසංස්කරණය ආදි විවිධ පැතිකඩ ගණනාවක් ඔස්සේ ත්‍රිවිධ හමුදා දායකත්වය ලබා දෙමින් පවතිනවා".
     
    "නැගෙනහිර ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ කඳවුරු 147ක සහන කටයුතු සඳහා බලඇණි 07ක්, වන්නි ආරක්ෂක මූලස්ථාන බල ප්‍රදේශයේ කඳවුරු 86ක සහන කටයුතු සඳහා බලඇණි 06ක්, කිලිනොච්චි ආරක්ෂක මූලස්ථාන බල ප්‍රදේශයේ කඳවුරු 13ක් සඳහා බලඇණි 02ක්, මධ්‍යම ප්‍රදේශයේ කඳවුරු 105ක් සඳහා සහ බටහිර ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ කඳවුරු 58ක් සඳහා ද හමුදා සෙබළුන්ගේ සහය ලබා දී ඇත. මෙසේ යොදවා ඇති එක් බලඇණියක් සෙබළු 500ත් 800ත් අතර ප්‍රමාණයකින් යුක්ත වේ".
     
    මීට අමතර ව නාවික යාත්‍රා 300කට අධික ප්‍රමාණයක් සමඟින් නාවික හමුදා කණ්ඩායම් 29ක් සහ ගුවන් හමුදාව සහන සැලසීමේ කටයුතු සඳහා සූදානමින් සිටින බවත් අධ්‍යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya