ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකා ධජය සහිත විදේශීය යාත‍්‍රා මඟින් මාළු ඇල්ලීම තාවකාලිකව නැවත්වීමට රජය තීරණය කරයි

    දෙසැම්බර් 30, 2014
    පසුගිය කාලයේ ධීවර ප‍්‍රජාවගේ දැඩි විරෝධයටත්, දෝෂ දර්ශනයටත් ලක්වූ විදේශීය යාත‍්‍රා ශ‍්‍රී ලංකා ධජය යටතේ මාළු ඇල්ලීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
     
    විශේෂයෙන් ම වර්ෂ 2009න් පසු උතුරු නැගෙනහිර පළාත්වල ධීවර ජන ජීවිතය යළි ගොඩනැංවීම සඳහා රජය සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් එහි ධීවර ප‍්‍රජාවට යළිත් වරක් ධීවර කර්මාන්තයේ ප‍්‍රතිලාභ හිමිකර දීමට පියවර ගනු ලැබීය. මේ මඟින් උතුරු නැගෙනහිර පළාත්වල ධීවර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කරමින් ඔවුන්ගේ ජන දිවියට තිරසාර පදනමක් දැමීම රජයේ අරමුණ විය.
     
    මේ අතර තුර ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ආරම්භ කරන ලද සමාගම් කිහිපයක් ශ‍්‍රී ලංකා ධජය යටතේ විදේශීය යාත‍්‍රා මඟින් ජාත්‍යන්තර මුහුදේ මාළු අල්ලන්නට පටන් ගැනීම නිසා උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටේ ම ධීවර ප‍්‍රජාවගේ දැඩි විරෝධයක් එල්ල වන්නට විය. වසර 33ක යුද්ධයකින් පසුව නිදහස් කරගත් මහ මුහුදේම අපේ ශ‍්‍රී ලාංකීය ධීවරයන් මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙමින් සිටියදී ශ‍්‍රී ලංකා ධජය සහිත විදේශීය යාත‍්‍රා නිසා ඔවුන්ගේ ධීවර කර්මාන්තයට ප‍්‍රබල තර්ජනයක් එල්ල වන බව සමස්ත ධීවර ප‍්‍රජාවගේම මතය විය. මෙම යාත‍්‍රා ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී මාළු අල්ලන බවට ශ‍්‍රී ලාංකීය ධීවරයන් චෝදනා කරනු ලැබීය. මේ නිසාම මෙම විදේශීය යාත‍්‍රාවන්ට එරෙහිව ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන රැසක් හා ධීවර ප‍්‍රජාව දැඩි ලෙස චෝදනා කරමින් විරෝධය දක්වා තිබේ. මේ අනුව මෙම විදේශ යාත‍්‍රාවලට එරෙහිව ප‍්‍රබල ලෙස ධීවරයන් උද්ඝෝෂණය කරන්නට විය.
     
    එම නිසා මේ පිළිබඳ ව දැඩි අවධානය යොමු කළ රජය 2008 ජනවාරි 30 දරන ආමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රටේ ජාතික අවශ්‍යතාවන්ට බාධාවන ආකාරයට මෙම සමාගම් කටයුතු කර ඇත්දැයි සොයාබැලීමටත්, ඊට අදාළ ප‍්‍රසම්පාදන කටයුතු ගැන විමර්ශනය කිරීමටත්, මෙම සමාගම් ආශ‍්‍රිත ව ආයෝජන මණ්ඩලය අනුගමනය කරන ලද ක‍්‍රියා පිළිවෙත පිළිබඳ ව සුපරීක්ෂා කිරීමටත් තීරණය කර ඇති බැවින් මෙම විදේශීය යාත‍්‍රාවල ක‍්‍රියාත්මක භාවය තාවකාලිකව අත්හිටුවීමට රජය තිරණය කර තිබේ.
     
    මෙම ධීවරයන්ගේ දැඩි විරෝධයට සවන් දෙමින් මේ යාත‍්‍රාවන්ගේ ක‍්‍රියාකාරීත්වය, ස්වභාවය හා භාවිතය පිළිබඳ ව දැඩි ලෙස සුපරීක්‍ෂාවට ලක්කිරීම සඳහාත්, මේ ආශ‍්‍රිත තත්ත්වයන් අධ්‍යයනය කිරීම සඳහාත්, ධීවරයන් සමඟ පුළුල් කතිකාවක් ඇති කිරීම සඳහාත් මෙම පියවර ගත් බව රජය පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya